එන්න බිග්මැච් අසිරිය විඳිමු | සිළුමිණ

එන්න බිග්මැච් අසිරිය විඳිමු

බෝලරයා 

වානරයා 

කීපරයා 

බෝක්කුවා

තර්ස්ටන් සහ ඉසිපතන අතර පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමයෙන් මෙවර බිග් මැච් වසත් කාලය ආරම්භ විය. 1879 දී ආරම්භ වූ රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන පැරැණි ම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙස වාර්තාපොත් අතරට එක්වෙයි. 1899 දී ආරම්භ වූ මහනුවර කිංග්ස්වුඩ් -ධර්මරාජ, සටන මෙන් ම මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේසස් දෙවිදුහල් අතර 1900 දී ආරම්භ වූ සටන ද ලාංකේය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ඉපැරැණි ම මහා තරග ලෙස සැලකේ. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස අත්පොත් තැබූ තැන් පටන් ප්‍රථම ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් අර්ජුන රණතුංග, ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ලොව වැඩි ම කඩුලු ලාභියා වූ මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, රන්ජන් මඩුගල්ලේ වැනි විශිෂ්ටයන් ද මෙකී පාසල් මහා ක්‍රිකට් තරගවල අඩු වැඩි වශයෙන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ. මේ එකී බිග් මැච් පිළිබඳ කරන ලද කතාබහක සටහනකී.

 

කඩුලු ත්‍රිත්වයෙන්

රංගන හේරත්

මලියදේව විද්‍යාලය

1993 වගේ ඉඳලා මලියදේව, ශාන්ත ආනා සීමිත ඕවර තරගවලට ක්‍රීඩා කළා. 96 - 97 - 98 තමයි මහා තරගවලට ක්‍රීඩා කළේ. 98 දී නායකයා වුණා. ප්‍රතිවාදි කණ්ඩායමේ නායකයා ශාමෙල්. මම ක්‍රීඩා කළ මහා තරගවලදී හැට්ට්‍රික් එකක් ගන්න පුළුවන් වුණා. 98 නායකත්වය දැරූ තරගය පුරුදු විදියට ජය පරාජයෙන් තොරව අවසන් වුණේ.

ඔය අතර කාලයේ මැලේසියානු තරගාවලියකටත් එකතු වුණා. අම්මා - තාත්තා, අක්කා ගෙන් වගේ ම අයියාගෙනුත් මගේ පාසල් ක්‍රිකට් ගමනටත් ලොකු සහයෝගයක් ලැබුණා. පාසල් මහා තරගයට ක්‍රීඩා කිරීම ක්‍රීඩකයකුගේ ජීවිතයේ සුවිශාල මතක සටහනක් වගේ ම ඉදිරියට යන්නත් ලොකු රුකුලක් වෙනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳ හොඳ මතක සටහනක් සමාජයට පවා එකතු වෙන්නේ මේ හරහා. ඒ වගේ ම මේ මහා තරගයකට ක්‍රීඩා කරන්න පවා අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට විතරයි. මේ අත්දැකීම මට පවා මගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය ගොඩනඟා ගන්න විශාල වශයෙන් රුකුලක් වුණා.

 

 

පස් දෙනෙක් ගැහුවා

සංජීව රණතුංග

ආනන්ද විද්‍යාලය

ආනන්ද - නාලන්දා බිග් මැච් හතරක් ක්‍රීඩා කළා. නිශාන්ත අයියා නායකයා වුණ අවුරුද්දේ බිග් මැච් එකේ මම විකට් පහක් ගත්තා. ධම්මික - අර්ජුන අයියලා එකට ක්‍රීඩා කළා. මමයි - නිශාන්තයි, ප්‍රසන්නයි එකට ක්‍රීඩා කරලා තිබෙනවා. රුවන් නම් වැඩිය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නෑ.

තාත්තා කිසිම තරගයක් බලන්න ආවේ නෑ. හැබැයි හැම අඩුපාඩුවක් හොයලා බැලුවා. අම්මා එක්ක තමයි ග්‍රවුන්ඩ් එකට පවා ආවේ ගියේ. අම්මත් වැඩ එක්ක ග්‍රවුන්ඩ් එකේ ඉඳලා මැච් බැලුවේ නෑ. ග්‍රවුන්ඩ් එකට දාන්න එනවා. ආයේ හවසට ගන්න එනවා. 1988 දී මගේ බිග් මැච්වල අන්තිම අවුරුද්ද. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය නිසා, බිග් මැච් එකට ක්‍රඩා කරන්න බැරි වුණා. එක්දින තරගය ක්‍රීඩා කළා.

ලාබාලම ක්‍රීඩකයා‍

දමිත කුලතුංග

ධර්මරාජ විද්‍යාලය

මහනුවර ධර්මරාජ විද්‍යාලයය නියෝජනයකරමින් කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව 1987 පළමු මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ‍කොට මගේ වයස අවුරුදු 14 යි. 15 න් පහළ කණ්ඩායමේ නායකයා. පන්දු යවන්නෙක් විදියට තමයි කණ්ඩායමට එකතු වුණේ. පළමු පන්දු වාරයේ ම කඩුල්ලක් දවා ගන්න පුළුවන් වුණා. දැවී ගියේ කිංග්ස්වුඩ් කණ්ඩාය‍ෙම් ෂවාල්. කණ්ඩායම මේ තරගයට ගියේ රවී රාජපක්ෂගේ නායකත්වය යටතේයි.

1992 දී නායකයා වුණා. මහා තරගය ජය පරා‍ජයෙන් තොරව අවසන් වුණට, මම හොඳම තුන් ඉරියව්වෙන් දක්ෂ ක්‍රීඩකයා වුණා. දර්ශන තමයි කිංග්ස්වුඩ් කණ්ඩායමේ නායකයා වුණේ.

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සහාය නැතුව අපට මේ වගේ ගමනක් යන්න බෑ. නායකයා විදියට යන කොට වඩා 15 න් පහළ නායකයා විදියට අවුරුදු 14 දී මහා තරගයට යන‍කොට තිබුණු ප්‍රතිචාරය වැඩියි. මහා තරගය කියන්නේ සාමාන්‍ය තරගයක් නොවෙයි. 87 දී ලාබාලම ක්‍රීඩකයා විදියට මහා තරගයට යන කොට තිබුණු පිළිගැනීම කවදාවත් අමතක වෙන්නේ නෑ.

 

90 දී දිනුවා

පියල් විජේතුංග

ශාන්ත අන්තෝනි

1986 - 90 ශාන්ත අන්තෝනි, ත්‍රිත්ව මහා ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළා. 86 දී ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් මහා තරගයට යන‍කොට මගේ වයස අවුරුදු 15 යි. අවුරුදු 15 දී මහා තරගයක් ක්‍රීඩා කරනවා කියන එකත් ලොකු පීඩනයක්. මේ තරගයට යනකොට අම්මා - තාත්තා ගොඩක් උදව් කළා.

පළමුවැනි තරගයේ මට පන්දු යවන්නෙක් විදියට මහා ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ. පන්දු වාර 4 - 5ක් වගේ තමයි දැම්මේ. තරගයට වැස්සා. රුවන් කල්පගේ මේ තරගයට ක්‍රීඩා කළා. 1987 දී රුවන් සහ මම වයස අවුරුදු 17න් පහළ එංගලන්ත තරගාවලියකටත් එකතු වෙලා හිටියේ. අපි දෙන්නාට ඒ අත්දැකීම් පවා ඒ තරගවාරයට ප්‍රයෝජනවත් වුණා. අපි ඒ තරගාවලියේ තරග 12න් 7ක් දිනලා හිටියේ.

90 දී අපි මහා තරගය ජය ගත්තා. ත්‍රිත්ව ඉනිම් දෙකට 98 යි සහ 54 යි. අපි අඩු විකට් ගණනකට 240 ක් ගැහුවා. නුවන් කල්පගේ ශතකයක් එක්ක ඒ තරග වාරයේ ලකුණු 1000 කට ගියා. මුල් ඉනිමේ මම විකට් 7 යි. මුරලිට එකයි. දෙවැනි ඉනිමේ මුරලි 6 යි. මට විකට් 3 යි. දෙවැනි දවසේ 11.30 විතර වෙනකොට තරගයත් ඉවර වුණා. 89 - 90 තරග වාරයේ හොඳම පන්දු යවන්නා වුණෙත් මම.

 

ශතකයක් රැස් කළා

මලින්ද වර්ණපුර

ශාන්ත පීතර විද්‍යාලයය

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්ත 96 අවුරුද්දේ තමයි මම ඉස්සෙල්ලාම ශාන්ත ජෝශප් - ශාන්ත පීතර මහා තරගයට ක්‍රීඩා කළේ. එතකොට මට වයස 16 යි. 1998 දී නායකයා වුණා. ඒ අවුරුද‍්දේ මහා තරගයේදී මට එතෙක් මහා ක්‍රිකට් තරගවල දෙවැනි වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කරන්න පුළුවන් වුණා. මහා තරගයේදී ලකුණු 159 ක් සහ ඊට පස්සේ තිබ්බ සීමිත ඕවර තරගයේදී 126 ක් රැස් කළා. ඒක අපේ මහා තරගයේ වගේ ම එක්දින තරගාවලියෙත් අමරණීය සටහනක්. මම ඒ තරග දෙකේදී ම ‍ෙහාඳම පිතිකරුවා සහ ක්‍රීඩකයා වුණා.

ගෙදරින් මට කොහොමත් ලොකු සහයෝගයක් තිබුණා. ඒ වගේ සහයෝගයක් නැතුව දිගු ගමනක් යන්න අමාරුයි. අපි ඒ අවුරුද්දේ ලීග් තරගාවලිය දිනලා හිටියේ. ඒක මහා තරගයට යන කොට අමතර පීඩනයක් වුණාට, අපට ඒ ජයග්‍රහණය ලොකු ශක්තියක් වුණා. අදටත් හුඟක් මේ විදුහල්වල ක්‍රීඩකයන්ට මහා තරගයට ක්‍රීඩා කරන්න ආසාවක් තමයි තියෙන්නේ. ඒත් අපේ කාලයේ හුඟක් අයට තිබුණේ මේ මහා තරගයේ මතක හිටින යමක් කරන්නයි.

 

මහා තරග 6 ක්

ඉන්දික ද සේරම්

ශාන්ත තෝමස් - මාතර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි පැරණි ම මහා ක්‍රිකට් තරගය මාතර ශාන්ත ‍‍තෝමස් සහ ශාන්ත සර්වේසස් තරගයයි. මේ මහා තරග 6 කට මම 1987 ඉඳලා 93 දක්වා ක්‍රීඩා කළා. 87 පළමු වතාවට මහා තරගයට ක්‍රීඩා කරන කොට මගේ වයස අවුරුදු 14යි. මේ මහා තරගය සේරම් පවුලට විශේෂයි. මගේ තාත්තා - බාප්පා පවා මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරලා තියෙනවා.

1973 මම ඉපදුණු අවුරුද්දේ තමයි බාප්පා ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකත්වය දරලා තියෙන්නේ. තාත්තා නායකත්වය දරලා නෑ. ඊට අවුරුදු 20 කට පස්සේ මම නායකයා විදියට මහා තරගයට එකතු වුණා. කඩුලු රකින පිතිකරුවකු විදියට තමයි මගේ දායකත්වය කණ්ඩායමට එකතු වුණේ. මීට අවුරුදු දෙක තුනකට කලින් අයියාගේ පුතා මලීෂ ද සේරම් මහා තරගයට ක්‍රීඩා කළා. කොහොම බැලුවත් සේරම්ලා මතක ගොඩක් තියෙන තරගාවලියක් විදියට ශාන්ත තෝමස් - ශාන්ත සර්වේසස් මහා ක්‍රිකට් තරගය දකිනවා.

 

Comments