මවු රටට ක්‍රීඩා කිරීමේ අදහස කිසි විටෙකත් අත් නොහළ මැරතන් මෑන් | සිළුමිණ

මවු රටට ක්‍රීඩා කිරීමේ අදහස කිසි විටෙකත් අත් නොහළ මැරතන් මෑන්

නොටිංහැම්ෂයර් යනු එංගලන්තයේ ජනප්‍රිය ප්‍රාන්තයකි. ඊට නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් බලපා තිබේ. මෙම ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් ඉතිහාසයේ දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම එය නියෝජනය කර තිබේ.

මීට වසර ගණනාවකට පෙර 21 හැවිරිදි යොවුන් ක්‍රීඩකයකුගේ හැකියාව ගැන නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීහු පැහැදී සිටියහ. මේ ක්‍රීඩකයා දක්ෂ පිතිකරුවෙකි. එමෙන්ම විශිෂ්ටතම පන්දු රකින්නෙකි. නමුත් හෙතෙම එංගලන්ත ක්‍රීඩකයෙක් නොවීය.

ඔහු දකුණු අප්‍රිකානුවෙකි. නොටිංහැම් ක්‍රිකට් බලධාරීන් යොවුන් ක්‍රීඩකයාගේ සේවය ලබා ගැනීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් ගිවිසුමක් ඔහුට ඉදිරිපත් කළහ. ඔහු ඊට එකඟ විය. එහෙත් එහි සඳහන් වගන්තියකට හෙතෙම අකැමැති විය.

එම වගන්තිය වූයේ ඔහු කෙදිනක හෝ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවයි. ඒ සඳහා ඔහු එංගලන්තයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ කාලයකුත් ගත කළ යුතු විය.

“ඒ වෙනුවෙන් ඔවුන් මට ගෙවීමට පොරොන්දු වූ මුදල විශාලයි. එය මට දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරමින් උපයන මුදලට වඩා දහ ගුණයක් විතර වැඩියි. සමහර විට වෙනත් ක්‍රීඩකයකුට එම අවස්ථාව ලැබුණා නම් ඊ‍ට එකඟ වෙනවා. එහි වැරැද්දක් නැහැ. ඕනෑම ක්‍රීඩකයකුගේ බලාපොරොත්තුව වැඩි මුදලක් උපයාගෙන තමන්ටත් තමන්ගේ පවුලටත් සැපවත් ජීවිතයක් ගත කිරීමයි”.මේ ක්‍රීඩකයා පසුකලෙක පැවසීය.

ඔහුටත් ඒ වන විට සිය අනාගතය ගැන පැහැදිලි දැක්මක් තිබුණේ නැත. සිය රටේ පළමු පෙළ කණ්ඩායමේ පවා ස්ථිර ස්ථානයක් ඔහුට තිබුණේ නැත. ඒ නිසාම නොටිංහැම්ෂයර් ඉදිරිපත් කළ ගිවිසුම ගැන වරින් වර හෙතෙම කල්පනා කළේය.

අවසානයේදී ඔහු තීරණයක් ගත්තේය. ඒ එය ප්‍රතික්ෂේප කිරීමටයි. එදා ගත් එම තීරණය ගැන අද ඔහු සතුටට පත්ව සිටියි. එය නිවැරදි තීරණයකි. අද ඔහු ක්‍රිකට් ලොව ජනප්‍රියතම තරුවකි. එමෙන්ම දකුණු අප්‍රිකානුවන්ට ඔහු ක්‍රිකට් වීරවරයෙකි. එදා එසේ දැඩි තීරණයක් ගත් ෆැෆ් ඩු ප්ලෙසි වත්මන් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ නායකයාය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වෙමින් සිටියි. එහිදී ටෙස්ට්, එක්දින සහ 20- 20 තරගවලට ඔවුහු සහභාගි වෙති. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සත්කාරක නායකත්වය ෆැ‍ෆ් විසින් දරනු ඇත.

එදා නොටිංහැම්ෂයර් ප්‍රාන්තය ඉදිරිපත් කළ ගිවිසුම ප්‍රතික්ෂේප කළ ෆැෆ්ට තවත් අවස්ථාවක් උදා විය. ඒ එංගලන්තයේම තවත් ප්‍රාන්තයක් වන ලැන්කෂයර් වෙතිනි. “ලැන්කෂයර් ප්‍රාන්තයත් මට ගිවිසුමක් ඉදිරිපත් කළා. එය හොඳ එකක් වුණා. එහි එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවට සඳහන් වුයේ නැහැ. එම අවස්ථාව නිසා මට වසරකදී මාස 06 ක කාලයක් වෘත්තීය ක්‍රීඩකයකු ලෙසට එංගලන්තයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉතිරි මාස 06ක කාලය දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කිරීමට ලැබුණා” ෆැෆ් පවසයි.

දශක ගණනක් පුරාම විවිධ රටවල බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්තයේ ප්‍රාන්තවලට ක්‍රීඩා කළහ. එමඟින් ලැබුණු අත්දැකීම් ඔවුන්ගේ ඉදිරි ක්‍රිකට් ක්‍රීඩා දිවියට භාවිතා කළහ. ෆැෆ්ටත් එය එසේම විය. “මම වසර දෙකක් ක්‍රීඩා කළා. එහිදී අත්දැකීම් රැසක්ම ලැබුණා.”

ෆැෆ්ට එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ එ‍රටේ ලීග් තරගවලදී දැක් වූ දස්කම් නිසාවෙනි. එහිදී ඔහු නොටිංහැම්ෂයර් ලීග් තරගවලදී මැන්ස්ෆීල්ඩ් හොසියිරි මිල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. ලැන්කෂයර් ලීග් තරගවලදී ඔහු නි‍යෝජනය කළේ ටොඩ්මොර්ඩෙන් කණ්ඩායමයි. මීට අමතරව එරටේම ලිවර්පුල් ක්‍රිකට් සමාජයටත් ක්‍රීඩා කළේය.

එදා නොටිංහැම්ෂයර් ප්‍රාන්තය ලබා දුන් අවස්ථාව පිළිබඳව ෆැෆ්ගේ අද මතය මෙසේය. “එදා මම එය පිළිගත්තා නම් අන්තර්ජාතිකව ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්න තිබුණා. හැබැයි ඒ මගේ මවු රට නොවේ. හදවතේ තිබුණා කවදා හරි දවසක දකුණු අප්‍රිකාව නියෝජනය කරනවා කියලා”

අවසන් තේරීම

බොහෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ ඉතා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙති. ඒ තෝරා ගන්නේ කුමන ක්‍රීඩාවක් ද යන්නයි. එහිදී ගැටළුවක් බවට පත් වන්නේ ක්‍රිකට් සහ රග්බිය.

‍ෆැෆ් ඩු ප්ලෙසිටත් එසේමය. ඔහු තෝරා ගත්තේ ක්‍රිකට් ය. “මගේ පියා වෘත්තීමය රග්බි ක්‍රීඩකයෙක්. ඔහු 80 දශකයේදී නාස් බෝතා සමඟ උතුරු ට්‍රාන්ස්වාල් කණ්ඩායමට ක්‍රීඩා කළා.” ෆැෆ් පවසයි.

නාස් බෝතා (උපත 1958 පෙබරවාරි 27) යනු දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙකි. ඔහු අන්තර්ජාතිකව ක්‍රීඩා කළේ 1980 සිට 1992 දක්වා ය. එහෙත් ඔහුගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ගත වූයේ වර්ණභේදවාදය නිසා ජගත් තහනමකට එරටේ රග්බි ක්‍රීඩාව ලක්ව තිබියදීය.

සිය පියාටත් තමන් රග්බි ක්‍රීඩකයෙක් වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබූ බව ෆැ‍‍ෆ්ගේ අදහසයි. “ඒ සමහර විට මගේ පියා රග්බි ක්‍රීඩකයෙක් නිසා වෙන්න ඇති. මටත් ආශාවක් තිබුණා. ඒ වුණත් රග්බි ක්‍රීඩා කරන විට මට නිතරම තුවාල සිදු වුණා. එහිදී මම තේරුම් ගත් දෙයක් තිබුණා. ඒ රග්බි මට ගැළපෙන ක්‍රීඩාව නොවේ කියලා. එම නිසාම වයස අවුරුදු 16 දී මම අවසන් තීරණයක් ගත්තා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියලා.”

එසේ වුවත් එම තීරණය දැන ගත් ඔහුගේ මවුපියන් පැවසුවේ තවදුරටත් අධ්‍යාපනය හදාරණ ලෙසටයි. කෙසේ වෙතත් ඔහු දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුයේය. ඒ සඳහා ඔහු අධ්‍යාපනය ලැබූ පාසලත් දැඩිව බලපෑවේය.

ප්‍රිටෝරියා නුවර පිහිටි ඇෆ්රිකාන්ස් උසස් බාලක පාසලේ ෆැෆ් අධ්‍යාපනය හැදැරූවේය. මෙය වඩාත් ප්‍රචලිතව තිබුණේ ඇෆීස් පාසල නමිනි. එහි ඉගෙන ගත් ඇතැම් සිසුන් පසු කලෙක විවිධ ක්‍රීඩාවලින් දකුණු අප්‍රිකාව අන්තර්ජාතිකව නියෝජනය කළහ.

ඊට හොඳම නිදසුනක් වේ. එනම් ෆැ‍ෆ් සමඟ ඇෆීස් පාසල් ක්‍රිකට් කණ්ඩායමට කීඩා කළ තවත් ක්‍රීඩකයන් තිදෙනෙක්ම පසුව දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි. ඔවුන් නමින් ඒ.බී.ඩි. විලියර්ස්, ජාක්ස් රුඩොල්ෆ් සහ හෙයිනො කුහ්න්ය.

ඩි විලියර්ස් (උපත 1984 පෙබරවාරි17) දකුණත් පිතිකරුවෙකි. විශිෂ්ට පන්දු රකින්නෙකි. එමෙන්ම ජාතික නායකත්වයත් දැරීය. හෙතෙම 2004 -18 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. රුඩොල්ෆ් (උපත 1981 මැයි 04) ජාතික පිලට ක්‍රීඩා කළේ 2003 සිට 12 දක්වාය. හෙයිනො (උපත 1984 අප්‍රේල් 01) වරින් වර 2009 සිට 17 දක්වා ජාතික පිල නියෝජනය කළේය.

ඒ.බී.ඩි.විලියර්ස් හට වැඩි කාලයක් යාමට පෙරම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණි. එහෙත් ෆැෆ්ට එසේ නොවීය. ඔහු එංගලන්තයේ ක්‍රීඩා කිරීමට ගියේ ඒ නිසාය.

කෙසේ හෝ ලැන්කෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ෆැෆ් නැවතත් සිය මවු රටට ගියේය. එහිදී දස්කම් අතර නිතරම රැඳී සිටියේය. ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුණේ එවැනි තත්ත්වයක් යටතේ ය.

ඔහු තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2012 වසරේදීය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. එම තරගය පැවැත්වු‍යේ ඇඩිලේඩ් නුවර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදීය. එම තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වූයේය.

දකුණු අප්‍රිකාව එම තරගයෙන් නියත පරාජයක් කරා යමින් සිටියේය. එය වැළැක්වු‍යේ ෆැෆ්ගේ විශිෂ්ට පිතිහරඹයයි. අංක 06 ට ක්‍රීඩා කරමින් ඔහු මුළු තරගයේදීම රැස් කරන ලද ලකුණු ගණන 188 ක් විය. ඒ පළමු ඉනිමට ලකුණු 78 කි. දෙවන ඉනිමට නොදැවී ලකුණු 110 කි. තම මංගල තරගයේදී ම වීරයා බවට ඔහු පත් විය.

මෙම දෙවන ඉනිමේ ශතකයට ඔහු ගත කරන ලද කාලය විනාඩි 466 කි. මැරතන් මෑන් හෙවත් මැරතන් මිනිසා යන නම ඔහුට පටබැඳුණේ මෙම පිතිහරඹය නිසාය. මේ ශතකය දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත පිතිකරුවන් සීමිත පිරිසක් අතරට ෆැෆ්වත් එක් කළේය.

එනම් තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කරන ලද සිවුවැනි දකුණු අප්‍රිකානුවා බවට ඔහු පත් වීමයි. මේ දස්කම මුලින්ම කළේ දකුණත් පිතිකරු ඇන්ඩෘ හඩ්සන්ය. ඔහු (උපත 1965 මාර්තු 17) බටහිර ඉන්දීය කොදෙව් දුපත්ට එරෙහිව ලකුණු 163 ක් රැස් කළේය. ඒ 1992 වසරේදී බ්‍රිජ්ටවුන් නුවරදීය.

මෙම දුලබ දස්කම දැක් වූ දෙවන දකුණු අප්‍රිකානුවා ජාක්ස් රුඩොල්ෆ්ය. හෙතෙම වමත් පිතිකරුවෙකි. ඔහු (උපත 1981 මැයි 04) නොදැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත් විය. ඒ 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිව චිතගොං නුවරදීය.

ඇල්විරෝ පීටර්සන් (උපත 1980 නොවැම්බර් 25) දකුණත් පිතිකරුවෙකි. ඔහු 2010 වසරේදී කොල්කටාවේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 100ක් රැස් කළේය.

ෆැ‍ෆ් ඉනිමක වැඩිම ලකුණු රැස් කළ අවස්ථා 03ක් මෙසේය. ලකුණු 137 නවසීලන්තයට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී 2013 වසරේදීය. නොදැවී ලකුණු 135 බංග්ලාදේශයට එරෙහිව බ්ලුම්ෆොන්ටෙයින් නුවරදී 2017 වසරේදීය. ලකුණු 134 ඉන්දියාවට එරෙහිව 2013 වසරේදී ජොහැනස්බර්ග්හිදීය.

ෆැෆ් තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ 2011 වසරේදීය. ඒ ඉන්දියාවට එරෙහිවය. තරගය පැවැත්වුයේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදීය. එහිදී ඔහු ලකුණු 60 ක් රැස් කිරීමට සමත් වූයේය.

එක්දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු 185 රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඒ 2017 වසරේදී කේප්ටවුන් නුවරදීය. එය එක්දින ජාත්‍යන්තර තරගයකදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ දෙවන වැඩිම ලකුණු ගණන වේ.

තවමත් එම වාර්තාව වමත් පිතිකරු ගැරි කර්ස්ටන් සතුය. කර්ස්ටන් (උපත 1967 නොවැම්බර් 23 ) නොදැවී ලකුණු 188 ක් රැස් කර ගත්තේය. ඒ 1996 ලෝක කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිවය.

ෆැෆ් සිය දෙවන වැඩිම ලකුණු ගණන වන නොදැවී 133 ඉන්දියාවට එරෙහිව මුම්බායි නුවරදී රැස් කළේ 2015 වසරේදීය. මීට අමතරව ඔහු ලකුණු 126 ක් 2014 වසරේදී රැස් කළේය. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේහි හරාරේ නුවරදීය.

20 – 20 ජාත්‍යන්තර තරගවලට ‍‍ෆැෆ් ක්‍රීඩා කරන්නේ 2012 වසරේ සිටයි. එහිදී ඔහු ශතකයක් රැස් කළේ 2015 වසරේදීය. ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව ජොහැනස්බර්ග් නුවරදීය. එය මේ වන විට 20-20 තරගවල දකුණු අප්‍රිකානු වාර්තාවයි. මීට අමතරව ඔහු 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව හම්බන්තොට දී ලකුණු 85ක් රැස් කරගෙන තිබේ. තවද 2015 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවරදී ඔහු නොදැවී ලකුණු 79ක් රැස් කර ගත්තේය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීහු ෆැෆ්ගේ පිතිහරඹය, පන්දු රැකීම සහ නායකත්වයේ හැකියාව ගැනත් පැහැදී සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ අන්තර්ජාතික වරම් ලබා වැඩි කාලයක් ගත වීමට පෙරම 20-20 කණ්ඩායමේ නායකත්වයට පත් වීමයි.

මේ වන විට ටෙස්ට්, එක්දින සහ 20-20 කණ්ඩායම් ත්‍රිත්වයේම නායකත්වය ෆැෆ් විසින් දරනු ලබයි. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම් සාර්ථකත්වයට ෆැෆ්ගේ නායකත්වයත් බලපා ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සි.) නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව (පෙබරවාරි 04) ටෙස්ට් රටවල් අතර මුල් ස්ථාන 3 හිමි වී තිබෙන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තයටයි. එහිදී ශ්‍රී ලංකාවට 06 වැනි තැන හිමිය.

පෙබරවාරි 03 ශ්‍රේණිගත කිරීමට අනුව එක්දින කණ්ඩායම් අතර මුල් ස්ථාන එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවටයි. ශ්‍රී ලංකාවට 08 වැනි තැනය.

20-20 ශ්‍රේණිගත කිරීමට (පෙබරවාරි 06) අනුව පාකිස්තානය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවට මුල් ස්ථාන 03 හිමිය. ශ්‍රී ලංකාවට 09 වැනි තැන හිමිය.

ෆැ‍ෆ්ගේ නායකත්ව වාර්තාවත් ඉතා ඉහළ මට්ටමක පවතියි. ටෙස්ට් 2016-19 අතර කාලයේදී තරග 27කදී ෆැෆ් නායකයාය. ජයග්‍රහණ 17කි. පරාජ 07කි. ජය පැරදුමක් නැති තරග 03කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 62.96කි. මෙය ශ්‍රී ලංකාව සමඟ තරගමාලාව ඇරඹීමට පෙරය.

(2013 -19 අතර කාලයේදී ෆැෆ් එක්දින තරග 25ක නායකත්වය දැරීය. එහිදී ජයග්‍රහණ 20කි. පරාජ 05කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 80කි. 20-20 නායකත්වය 2012 සිට 19 දක්වාය. එහිදී තරග 36කි. ජයග්‍රහණ 23කි. පරාජ 13කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 63.88කි.

ඔහුගේ නායකත්වය යටතේ අමතක නොවන සිදුවීමක් ඇත. එනම් 2017 වසරේදී ලෝක කණ්ඩායමේ නායකත්වය ෆැෆ් විසින් දැරීමයි. එහිදී නිදහස් කුසලානය වෙනුවෙන් තරග 03 කින් සමන්විත 20-20 තරගමාලාවක් පැවැත්වීය. ඒ පාකිස්තානයට එරෙහිවයි.

එම තරගමාලාව පැවැත්වූයේ පාකිස්තානයේදිමයි. ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් ආරක්ෂක වාතාවරණය සුදුසු බවට සෙසු ලොවට දැන්වීමේ අරමුණින් මේ විශේෂ තරගමාලාව සංවිධානය කර තිබුණි. එහිදී සත්කාරකයෝ 2-1 ක් වශයෙන් තරගමාලාව ජය ගත්හ. “පාකිස්තානයේදී යළිත් වතාවක් ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු පරිසරයක් ඇති වෙලා”. ෆැ‍ෆ් පසුව පැවසීය.

මෙම වසර ලෝක කුසලාන වසරකි. එක්දින ලෝක කුසලාන තරගාවලිය තව මාස කිහිපයකින් එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකානුවන් සුපුරුදු පරිදි මෙවරත් සිහිනයක් දකිති. එනම් ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය හිමිකර ගැනීමටයි.

එහිදී මේ දක්වා ඔවුන්ගේ උපරිම දස්කම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමයි. ෆැෆ්ගේ නායකත්වය මත ලෝක කුසලාන සිහිනය සැබෑවක් වෙනු ඇතැයි දකුණු අප්‍රිකානුවෝ බලාපොරොත්තු වෙති.

ෆැෆ්ගේ සෙවණැල්ල

“සෑම සාර්ථක මිනිසෙක් පිටුපස කාන්තාවක් සිටියි” යන කියමනක් ඇත. ෆැෆ්ටත් එසේමයි. ඒ ඔහුගේ දයාබර බිරිය වන ඉමාරි විසර්ය. ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ ඉමාරි සමඟ විවාහ වූයේ 2013 වසරේදීය.

ඉමාරි ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය දක්ෂ ඡායාරූප ශිල්පිනියකි. එසේම ඇය අලෙවි කළමනාකාරිණියකි. මේ ය‍ුවළට දියණියක් සිටින්නීය. 2017 වසරේදී උපන් ඇය එමිලිය.

“මගේ දුව එමිලි උපන් දවස මගේ ජීවිතය ක්ෂණිකව වෙනස් කළා. ඇය මගේ හදවත වෙනස් කළා. මෙලොව සිටින හොඳම පියා වීමට තමයි මට දැන් අවශ්‍ය වී තිබෙන්නේ.” තමන්ට අහිමි වූ පිය සෙනෙහස දියණියට උපරිමයෙන්ම ලබා දීම ෆැෆ්ගේ බලාපොරොත්තුවයි.

ෆැෆ් කුඩා කාලයේදීම ඔහුගේ මවුපියෝ වෙන් වූහ. ඉන් අනතුරුව ඔහු වැඩි කාලයක් හැදී වැඩුණේ සිය මව සමඟින්ය.

ෆැෆ් ඩූ ප්ලෙසි දිවියෙන්

සම්පූර්ණ නම - ෆ්‍රැන්කොයිස් ඩු ප්ලෙසි

උපත - 1984 ජුලි 13

උපන් පළාත - ප්‍රිටෝරියා, ට්‍රාන්ස්වාල්

උස - අඩි 5 අඟල් 11

සුරතල් නම් - මැරතන් මිනිසා, ෆැෆ්

පිතිහරඹය - දකුණතින්

පන්දු යැවීම - දකුණත් පා දඟ

ක්‍රීඩා කළ වෙනත් කණ්ඩායම් - නෝදර්න්ස්, ටයිටන්ස්, පාර්ල් රොක්ස් (දකුණු අප්‍රිකාව), දකුණු අප්‍රිකානු අවුරුදු 19 න් පහළ, දකුණු අප්‍රිකානු ඒ, ලැන්කෂයර් (එංගලන්තය), මෙල්බර්න් රෙනෙගේඩ්ස් (ඔස්ට්‍රේලියාව), චෙන්නායි සුපර් කිංග්ස්, රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් (ඉන්දියාව), ශාන්ත කිට්ස් ඇන්ඩ් නේවිස් පේට්රියොට්ස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), ලෝක කණ්ඩායම

මංගල ජාත්‍යන්තර තරග වරම - 2011

ටෙස්ට් තරග 56, ලකුණු 3408 , ඉනිමක වැඩිම 137, සාමාන්‍යය 42.07, ශතක 09, අර්ධ ශතක 17, උඩපන්දු 49

එක්දින ජාත්‍යන්තර තරග 129, ලකුණු 4848, වැඩිම 185, සාමාන්‍යය 45.73, ශතක 10, අර්ධ ශතක 31, කඩුලු 02, හොඳම 8-1, සාමාන්‍යය 94.50, උඩ පන්දු 67

20-20 ජාත්‍යන්තර තරග 43, ලකුණු 1342, වැඩිම 119, සාමාන්‍යය 36.27, ශතක 01, අර්ධ ශතක 08, උඩ පන්දු 20

ලෝක කුසලාන තරගාවලි (ඕවර 50)

2011, 2015 (අවසන් පූර්ව)

විශේෂ අයි.සී.සී. 20-20 වසරේ හොඳම දක්ෂතාව - 2015 (ශ්‍රී ලංකාවට එරෙහිව තරගමාලාව ඇරඹීමට පෙර)

Comments