විභාග කොමසාරිස්තුමනි, මේ ඔබේ අවධානයටයි | සිළුමිණ

විභාග කොමසාරිස්තුමනි, මේ ඔබේ අවධානයටයි

අධ්‍යාපනයේ අති ප්‍රබල හැරවුම් ලක්ෂ­්‍යක් වූද, සිසු ජීවිතයේ මහත් පෙරළියක් ඇතිකරන්නාක් වූද, අ.පො.ස, උ/පෙළ සහ සා.පෙළ විභාගවලට මුහුණ දුන් සිසුන්, ගුරුභවතුන්, මවු පියන් සහ සමස්ත ප්‍රජාවම එහි ප්‍රතිඵල ලැබෙන තුරු මහත් අපේක්ෂාවෙන් සිටිති. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙහිලා ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක නිරතව විභාග නිසි පරිදි පැවැත්වීම හා ඉන් අනතුරුව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් ඉතා හොඳින් සිදු කරවා ගැනීම පැසසිය යුතුය.

එහිදී ඊට අදාළ ඇගයීම් කාර්යමණ්ඩලයේ පරීක්ෂක තනතුරු හා පත්වීම් ලිපි ගෞරවාන්විතව ලබ‍ාදේ. ඊට අනුගතව රැස්වීම් වලටත්, ඇගයීම් දිනවල ශ්‍රී ලංකාව පුරා අදාළ මධ්‍යස්ථාන වලටත්, විවිධ විෂය ධාරාවන් ඔස්සේ ගුරුභවතුන් සහභාගී වන්නේ හුදු මහත් පෞද්ගලික කටයුතු පසෙකලා තම වෘත්තීය ක්ෂේත්‍රයේ දැනුම් නිම් වළලු පුළුල් කරගන්නා අටියෙන් සිතන්නේ ‘කීයක් හරි සොයාගන්නටය’ කියාය නමුත් සමස්ත සමාජය නොදත් සැබෑව සැඟවී ඇත්තේ ගුරුභවතුන් පමණක්ම අතරෙහිය. එම ඇගයීම් කටයුතු රසවත් මෙන්ම, අසීරු හා ඉතා වෙහෙසකර කාර්යයක් ද වේ. ඇගයිම් ආරම්භක දින සිට අවසාන දින දක්වා සෙනසුරාදා - ඉරිදා ඇතුළුව අතර මැද කවර රජයේ නිල නිවාඩු යෙදී තිබුණත් එම දිනවල ද අඛණ්ඩව සේවය කළ යුතුය. කිසිදු ඉසුඹුවක් නොගෙන එම ඇගයීම් කටයුතු වෙනුවෙන්ම කාලය කැපකරන ගුරුභවතුන් සිය පෞද්ගලික හා ගෘහස්ථ කටයුතු ආදියද සීරු මාරුවට කළමනාකරණය කරගත යුතුය.

2018 වර්ෂයේ සාමාන්‍ය ඉංග්‍රීසි පිළිතුරු පත් ඇගයීම් මණ්ඩලයේ ප්‍රධාන පරික්ෂක වරුන් තෝරාගැනීමේ ජාතික විභාගයද පවත්වන ලද්දේ එක්තරා ප්‍රමුඛ ඉස්ලාම් ආගමික උත්සව දිනකදීය. බොහෝ ඉස්ලාම් ගුරුභවතුන් ඊ‍‍ට සහභාගී නොවු අතර නැවත විභාගයක්ද පැවැත්වීමට සිදු වුණි. එබැවින් දින වකවානු තීරණය කිරීමේදී සැලකිලිමත් වීම වඩාත් තෘප්තිකර සේවයක් ලබාදීමට ඉවහල්වනු ඇත. එවැනි උත්සව සඳහා නිවාඩු ඉල්ලන ගුරුභවතුන්ට ඒවා ලබාදෙන ලෙස වාචිකව පොදු රැස්වීමේදී නොපවසා අදාළ සැලසුම් සිදු කරන්නේ නම් මැනවි.

මෙවර ඉතා සුළු රුපියල් ගණනකින් ඇගයීම් ගාස්තු වැඩිකර තිබුණත් ඇතැම් විෂයන් සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය ඉංග්‍රීසි උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් එක් පත්‍රයක් සඳහා ගෙවනු ලබන මුදල වෙළෙඳපොළින් ‘පාන් ගෙඩියක්’ වත් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවේ. දැනුමින් අත්දැකීමෙන් පිරිපුන්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ හා විශ්ව විද්‍යාලවල අවුරුදු ගණන් දුක් විදිමින් අධ්‍යාපන මට්ටමින් යම්තාක් ඉහළට ගිය ගුරුභවතුන් හට පිළිතුරු පත් ඇගයීම කම්කරු සේවයේ යෙදෙන අයකු හට ලබාදෙන දෛනික වේතනය වත් නොලැබෙන බව දන්නේ කවුරුද ....? ඇතැම් පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොපමණ වෙහෙසක් හා කාලයක් ගත යුතුද...? බොහෝ විට පිරිමි ගුරුභවතුන් අඩු මණ්ඩලවල කාන්තා ගුරුවරියක් කිලෝ ගණනක් බර එම කට්ටල රැගෙන යා යුතුය. එසේ එක එල්ලේ එම කාර්යයෙහි යෙදී එම නිවාඩු කාලයද කැපකරමින් ඇගයීම්වල යෙදෙන ගුරුභවතුන් උපයාගත් මුදල් ලබා ගැනීමට පුරා මාස 3 සිට 5 දක්වා බලා සිටිය යුතුය. මුදල් ලැබෙන විට මුදලේ වටිනාකමද අඩු වී ඇත. ඇතැම්විට මෙම ලිපිය ලියන දිනට තත්ත්වය මෙය වුවත්, පළකරන විට ගැටලුව විසදී තිබීමට ද පුළුවන. එපමණක් නොව 2018 වර්ෂයේ අ‍ගෝස්තු මාසයේ ඇගයීම් සිදුකළ ගුරුභවතුන් බොහෝ පිරිසකට මෙතෙක් එම මුදල් ලැබී නැත. විශේෂයෙන්ම උසස් පෙළ ඉංග්‍රීසි විෂය සහ සාමාන්‍ය පොදු පරීක්ෂණ වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව මුදල් බැංකුවෙත ප්‍රේෂණය කර නැත.

ඇතැම් ඇගයීම් මධ්‍යස්ථාන අධික ජනාකීර්ණ නගර මධ්‍යයේ පිහිටා ඇති පාසැල්ය. එම නගරයේ වෙළෙඳ සැල් හා උත්සව සමයේ කෙරෙන වෙළෙඳ ප්‍රචාරණ ඔස්සේ කන් බිහිරිවන තරමේ ශබ්ද විකාශන යොදාගනිමින් කෙරෙන විශාල සැණකෙළිය. අතිවිශේෂයෙන් වාර්ෂිකව පාණදුර නගරයේ දෙසැම්බර් මස පවත්වන පෙරහැර උත්සවයක් නිසා පුරා දින ගණනාවක් අධික ශබ්ද ඝෝෂා මධ්‍යයේ පිළිතුරු පත් ඇගයීම් කිරීමට සිදුවේ. මෙවරද පුරා දින 3 ක් උදේ සිට සවස්වන තුරු මුළු ඇගයීම් කාලය පුරාම සා.පෙළ පිළිතුරුපත් ඇගයීමට ඉන් දැඩි ලෙස බාධා එල්ල වුවද අනවශ්‍ය වේලාවකදීවත් එය නවතාලන්නට තරම් බලපෑමක් කිසිවකුත් සිදු නොකළේය.

පිළිතුරුපත් ඇගයීම ජාතික කර්තව්‍යයකි. දරුවෙකුගේ ජීවිතය ඉන් තීරණය වේ. මෙවැනි බාධක මැද පිළිතුරුපත් ඇගයුම් සිදු කරන තවත් බොහෝ ප්‍රදේශවල ගුරුභවතුන් ද වෙනුවෙන් මෙසේ සටහන් කළෙමි. ශ්‍රී ලංකාව පරිගණක තාක්ෂණයෙන් ඉහළ නම්, අදාළ වැටුප් ලේඛන හා දත්ත ඉදිරිපත් කර ඇත්නම්, ඇගයීම් සංචිත ඉතා සුළු ප්‍රමාණයක් නම්, සියලු ක්ෂේත්‍ර සඳහා ජාතික වස්තුන් බිහි කරනු ලබන ගුරුභවතුන් අඩුම අඩු සැලකිල්ලක් දෙන්නේ ඕනෑම සේවයකුට අඩුම අඩු මිලකට සේවය සපයන්නේ ගුරුභවතුන් නිසා ද? එසේ නම් මේ ගුරුවරු හට මෙවැනි කෙනෙහෙලි ඇයි?

රඹුක්කන, බණ්ඩාරගම
කල්‍යාණි කීර්තිසිංහ හික්කඩුවගේ

Comments