හඟුරන්කෙත පෙදෙසට එල්ල වූ අප්‍රකට විදේශීය ආක්‍රමණයක් හෙළි කරන හාරගම සෙල්ලිපිය | Page 3 | සිළුමිණ

හඟුරන්කෙත පෙදෙසට එල්ල වූ අප්‍රකට විදේශීය ආක්‍රමණයක් හෙළි කරන හාරගම සෙල්ලිපිය

හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ දැනට පසෙක තබා ඇති ටැම් ලිපියක කොටසක් එහි ගිය අපට ද දක්නට ලැබිණි. ඒ ලිපි ඛණ්ඩය කියවීමට නොහැකි තරමට එහි අකුරු බොහොමයක් සම්පූර්ණයෙන් ම මැකී ගොස් ඇත. මෙය පී. ඇම්. පී. අභයසිංහ මහතාගේ උඩරට විත්ති ග්‍රන්ථයේ ද දක්වා ඇත. එහෙත් උඩරට ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම් ඇති වැදගත් ස්ථානයන්හි ගවේෂණ කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ සුප්‍රකට පඬිවරයෙකු වූ ගම්පොල ගුණාලංකාර වරසම්බෝධි ස්ථවිර පාදයන් වහන්සේ විසින් එම ලිපි කැබැල්ල මහත් ආයාසයක් ගෙන කියවා සුළු පරිකථාවක් සහිත එහි පෙළ උන්වහන්සේ විසින් රචිත ගම්පොළ ඉතිහාසය නම් 1948 වර්ෂයේ ප්‍රකාශිත පොතෙහි පළ කර තිබේ.

වරසම්බෝධි හිමියන් පවසන පරිදි එම ලිපි කැබෙල්ල මුලින් හඟුරන්කෙත මහනුවර පාරේ 9-10 සැතපුම් කණු අසල හාරගම නම් පෙදෙසට අයත් වනගහනයක් ව පැවැති ‘බාවනාකැලේ‘ නම් ස්ථානයේ තිබී සොයාගෙන ඇත්තේ හඟුරන්කෙත පොත්ගුල් විහාරය කරවූ දොරටියාවේ අත්ථදස්සී මා හිමියන් විසිනි.

ටැම් ලිපියෙන් කැඩී ගොස් පසට යට වී තිබුණ ලිපි ඛණ්ඩය එහි සිට හඟුරන්කෙත පොත්ගුල් විහාරයට ගෙන ගොස් තබා ඇත්තේ ද උන් වහන්සේගේ පරිශ්‍රමයෙනි. වරසම්බෝධි හිමියන්ගේ ගම්පොළ ඉතිහාසයෙහි පළ වී ඇති හාරගම ලිපිය යනුවෙන් නම් කෙරුණු පේළි හතරකින් යුත් එම ලිපියේ පෙළ මෙසේ ය.

ශ්‍රී සඟබෝ පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ

හාරගම ගෙ (දෙ) මල.........හතුන්ගේ.........

එම පතීන් වහන්සේ ........විහාරය

නායක ........කුම්බුරු බිජු...අමුණ

සහ......සාමයේ...........

රාව........හොත්........

ලිපියේ ශේෂ ව තිබෙන මෙම පේළි කීපයෙන් කියැවෙන්නේ සිරිසඟබෝ පරාක්‍රමබාහු නම් රජ කෙනෙකු විසින් දෙමළ උවදුරකට මුහුණ පෑ හාරගම පෙදෙසේ පිහිටි විහාරයකට පූජා කරන ලද කුඹුරු අමුණු ගණනක් සහ තවත් පූජා කීපයක් පිළිබඳ ව ය.

සෙල්ලිපිය මුලින් තිබී ලැබිණැයි කියන ප්‍රදේශය සියැසින් දැක ගැනීමට ගිය අපට එහි පැරණි විහාරයකැයි කිව හැකි නටබුන් කිසිවක් දක්නට නොලැබිණි. එහෙත් ලිපිය ලැබුණ පෙදෙසට දැනුත් භාවිත වන්නේ “බාවනාකැලේ” කියා ය. එහෙයින් ලිපියේ සඳහන් කරන විහාරය තිබෙන්නට ඇත්තේ තවමත් නාමශේෂව පවත්නා “බාවනාකැලේට” නුදුරුව විය හැකි ය.

හාරගම ලිපියේ සඳහන් ශ්‍රී සඟබෝ රජතුමා කවරෙක්ද? හාරගම විහාරය වැනසූ දෙමළ උවදුර කුමක්ද යන ගැටලු විසඳාගැනීම ලංකා ඉතිහාසය හදාරන දුහුනන්ට ඉතා වැදගත් හැකි ය. මේ ලිපිය කියවා ඊට සුළු පරිකථාවක් සැපයූ වරසම්බෝධි හිමිපාණෝ මෙහි සඳහන් වන පරාක්‍රමබාහු වූ කලී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු යැයි සඳහන් කරති. එහෙත් බැහැරින් ලැබෙන තවත් පරිවාර සාධක කීපයක් මෙහි සඳහන් වන්නේ 6 වන පරාක්‍රමබාහු රජු යැයි නිගමනය කිරීමට හරස්ව සිටී.

හාරගම හා තදාසන්න ප්‍රදේශයට සම්බන්ධ වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයට අයත් ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් හමුවන්නේ නැත. ගම්පොළ හා මහනුවර යුගයට සම්බන්ධ වන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක සෑහෙන ප්‍රමාණයක් නම් මේ පෙදෙසින් ලැබී තිබේ. ඊට පෙරාතුව පොලොන්නරු යුගයට එක එල්ලේම සම්බන්ධයක් ඇති කරවන වැදගත් පුරාවිදු සාධක කීපයක් අප හමුවේ ඇත. එයින් ඉතා වැදගත් කොට සැලකිය හැකි පොලොන්නරුවේ කල්‍යාණවතී රැජින පොලොන්නරුවෙන් පලා ගොස් සෑහෙන කලක් අප්‍රකටව සිය රාජ්‍යය පිහිටුවාගෙන රැකවරණය ලබා විසූ බව හෙළි වන බෝපිටිය සෙල්ලිපිය ලැබී ඇත්තේ හාරගමට සැතපුම් පහක් පමණ ඈතින් පිහිටි බෝපිටිය ග්‍රාමසේවක වසමේ තලාකඩ නම් ගමෙනි. පොලොන්නරුවේ රජ කළ ලීලාවතී රැජිනගේ නම සඳහන් වන රැකිටිපේ ශිලා ලිපිය ලැබී තිබෙන්නේ හාරගමට සැතපුම් හතක් පමණ ඈතින් පිහිටි ස්ථානයකිනි.

රැකිටිපේ ලිපිය ලැබී ඇති ස්ථානයෙන් සැතපුම් පහක් හයක් පමණ ඈතින් තවමත් කියවා ප්‍රසිද්ධියට පත් නොකළ පොලොන්නරු යුගයට අයත් විය හැකි සෙල්ලිපියක් හමු වී දැනට මාදන්වල විහාරයට ගෙන ගොස් තබා තිබේ. දැනට හාරගම ලිපිය තබා ඇති හඟුරන්කෙත පොත්ගුල් විහාරය ද පිහිටා තිබෙන්නේ හාරගමට සැතපුම් හතක් පමණ ඈතිනි. හඟරන්කෙත පොත්ගුල් විහාරය කරවූ දොරටියාවේ හිමියන් විසින් තත් විහාරකරණයේ දී ප්‍රයෝජනයට ගන්නා ද ගල් ටැම් ගල් දොරබා සඳකඩපහණ ආදිය පොලොන්නරු යුගයට අයත් යැයි ඓතිහාසික ගවේෂණයන්හි මහත් උනන්දුවක් දැක්වූ සුප්‍රකට පඬිවරයෙකු වූ කවිචින්තාමණී පී.ඇම්. අබේසිංහ පෙන්වා දෙයි.

හාරගම හා තදාසන්න පෙදෙස් පොලොන්නරු යුගය හා පැහැදිලිව ම යා කරවන මේ වැදගත් පුරාවිදු සාධක හැරුණු කොට අපේ පිරික්සුමට බඳුන් වී ඇති මෙම ලිපිය මුලින් තිබූ ස්ථානයට නුදුරින් ලැබී ඇති රන් පනම් කාසි ලංකාවේ රජ කෙනෙකුගේ නොවුණත් ඒවා අයත් වන්නේ පොලොන්නරු යුගයට බව කාසි පිළිබඳ පඬිවරයෙකු වූ කොඩ්රින්ටන් දක්වා ඇත.

එතුමාට අනුව මේ කාසි නිකුත් කර ඇත්තේ ක්‍රව 1075-1146 අතර රාජ්‍ය විචාළ ඉන්දියාවේ නැඟෙනහිර ගංග වංශයේ අනන්තවර්මන් චෝඩගංග රජුගේ නමිනි. නැඟෙනහිර ගංග වංශ කුමාරවරුන් පැසුළු අවධියේ පොලොන්නරු රාජ්‍යයේ බලය අල්ලාගෙන සිටි බව වාර්තාගත ය. එම වංශයේ බලවත් පාලකයෙකු වූ අනන්තවර්මන්ගේ කාසි මෙරට භාවිතයට එන්නට ඇත්තේ පොලොන්නරුවේ ගංග වංශික පාලකයන් බලයට පත්ව සිටි අවධියේ විය යුතු ය.

අනන්තවර්මන්ගේ කාසි මෙරටට හඳුන්වා දුන් පොලොන්නරුවේ ගංග වංශික පාලකයන් හා හාරගම සෙල්ලිපියට පරිබාහිර සෙල්ලිපි සියල්ලක්ම අයත් වන්නේ මහපැරකුම්බා රජුගෙන් පසු පොලොන්නරු අවධියට ය. මේ අනුව මහ පැරකුම්බා රජුගෙන් පසු පොලොන්නරු අවධිය හාරගම හා තදාසන්න ප්‍රදේශය සමඟ තදින්ම සම්බන්ධ වන හැටි මනාව පෙනේ.

මේ අනුව හාරගම ලිපියේ සඳහන් වන පරාක්‍රමබාහු මහ පැරකුම්බා රජු නොවන බව සැලකිය යුතු ය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය හා හාරගම ඒ අවට ප්‍රදේශ සම්බන්ධ වන පුරාවිද්‍යා හෝ ඓතිහාසික සාධක නැති හෙයින් මේ ලිපියේ සඳහන් වන්නේ කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු යැයි වරසම්බෝධි හිමියන් කර ඇති නිගමනයට පදනමක් ඇති බවක් නොපෙනේ. හාරගම ලිපියේ සඳහන් වන්නේ මේ පරාක්‍රමමබාහු රජවරුන් දෙදෙනාම නොවේ නම් ඊ ළඟට මේ රජුන් දෙදෙනා අතර අපට ඉතිරි වන්නේ තවත් පරාක්‍රබාහු රජවරු සිවු දෙනෙකි.

ඔවුහු වනාහී දඹදෙණියේ දෙවන පරාක්‍රබාහු දන්තධාතුව හා පාත්‍රාධාතුව පාණ්ඩ්‍ය රාජ්‍යයෙන් ආපසු ලබාගෙන පොලොන්නරුවේ ටික කලක් රජ කළ 3 වන පරාක්‍රමබාහු කුරුණෑගල 4 වන පරාක්‍රමබාහු හා දැදිගම පස්වන පරාක්‍රමබාහු යන සිවු දෙනා ය. එයින් 3 වන පරාක්‍රමබාහු දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී විනාශ වී ගිය විහාරයක් පිළිසකර කර ඊට ගම්වර පිදීමට තරම් ප්‍රබලයෙකු නොවුණු බව මහාවංසය ඇතුළු අනෙකුත් මූලාශ්‍රයවලින් මොනවට හෙළි වේ.

එසේ ම කුරුණෑගල 4 වන පරාක්‍රමබාහු රජුගේ ලෝක ශාසනික කටයුතු සියල්ලම පාහේ ව්‍යාප්ත වී ගියේ දක්ෂිණ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල බව මහා වංසයේ හා දළදා සිරිතේ විස්තරාත්මකව දක්වා තිබීමෙන් අනාවරණය වේ. දැදිගම 5 වන පරාක්‍රමබාහු සිය බලපදේශය ඇතුළත හෝ පිටත සැලකිය යුතු ලෝක ශාසනික කටයුතුවල යෙදෙන්නට ඉඩක් නොලත් දුර්වල පාලකයෙකු වූ බව සියලුම මූලාශ්‍රයවලින් පෙන්නුම් කරයි. එවිට අපට ඉතිරි වන්නේ දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු පමණකි.

පොලෝනනරු අවධිය හාරගම හා තදාසන්න පෙදෙස් සම්බන්ධ කරවන පුරාවිදු සාධක කීපයක් ම හෙහි මුලින් සඳහන් කර ඇත. ඒ සාධක අතර කල්‍යාණවතී රැජින දෙමළ ආක්‍රමණයකින් බේරී රැකවරණ ලබමින් සිටි පෙදෙස පිහිටා ඇත්තේ හාරගමට සැතපුම් හතක් පමණ ඈතිනි. මහාවංසය පූජාවලිය රාජාවලිය යන ග්‍රන්ථ ඇයගේ රාජ්‍ය කාලය සය මසක් යැයි පවසතත් මිනිපේ පුවරු ලිපියේ ඇයගේ 8 වන රාජ්‍ය වර්ෂය සඳහන් කරයි. ඇය බෝපිටිය සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ මිනිපේ පුවරු ලිපියේ සඳහන් දෙමළ ආක්‍රමණයෙන් පැරැදී මධ්‍ය කඳුකරයේ ඇති වනදුර්ග ගිරිදුර්ග යනාදියෙන් ගහන ආරක්ෂිත ප්‍රදේශයක් වූ බෝපිටිය ප්‍රදේශයට පලා යෑමෙන් අනතුරුව බව සෙල්ලිය අනුව නිසැකව ම කිව හැකි ය.

බෝපිටිය සෙල්ලිපිය පිහිටුවීමෙන් පසු ව කල්‍යාණවතී රැජිනට සිදු වූයේ කුමක්දැයි සෙල්ලිපි හෝ වෙන කිසි ම සාහිත්‍ය මූලිශ්‍රයකින් අනාවරණය නොවේ. පිහිටි ගලක කොටා ඇති බෝපිටිය සෙල්ලිපිය තිබෙන තැනට මීටර 50ක් පමණ පහළින් කුඹුරක් මැද අකුරු කෙටීමට රූල් ගැසූ ගල් පුවරුවක් යථෝත සෙල්ලිපිය පිරික්සා බැලීමට එහි ගිය අපට දක්නට ලබිණි.

බෝපිටිය සෙල්ලිපියෙන් පසු මේ ලිපිට පිහිටුවීමට කටයුතු කරගෙන යන අතරතුර දී කල්‍යාණවතී රැජිනට මේ ප්‍රදේශය අතහැර යන්නට හෝ නැතිනම් මෙහිදී ම ඇයගේ අවසානය සිදු වන්නට ඇතැයි මේ සාධක අනුව නිගමනයකට බැසීමට අපහසු නොවේ. ඇයගේ පලා යෑම හෝ අවසානයක් සිදු වන්නට ඇත්තේ මිනිපේ ලිපියේ සඳහන් දෙමළ ආක්‍රමණිකයන් මිනිපේ සිට ඇය පලා ගිය ඉව ඔස්සේ ලුහුබැඳ පැමිණීමේ ප්‍රතිපලයක් වශයෙනැයි සැලකිය හැකි ය.

පොලොන්නරුව මාඝ යටතට පත් වීමෙන් පසු ව කල්‍යාණවතී රැජින සැඟ වී සිටි ප්‍රදේශය මාඝගේ අණසකට යටත් වන්නට ඇතැයි සිතීම උගහට ය. කල්‍යාණවතී රැජින ද ගංග වංශයට අයත් බව නිශ්ශංකමල්ලගේ සෙල්ලිපිවලින් අනාවරණය වෙයි. මේ ප්‍රදේශය සිය අණසකට ගැනීමට මාඝ තැත් නොකළේ යයි සිතිය හැකි නොවේ.

එහෙත් මාඝ ගත් තැත අසාර්ථක වන්නට ඇත. මාඝ පොලොන්නරුවේ ආධිපත්‍යය දරද්දී චෝඩගංගදේව නමැත්තෙකු 1223 දී ත්‍රිකුණාමලයට ගොඩබට බව සෙල් ලිපියක සඳහන් ය. (එපිග්‍රැපියා සෙයිලනිකා 5 වෙළුම) පොලොන්නරුවේ බලයට පත්ව සිටි ගංග වංශික පාලකයන් ගැන මෙහි මුලින් සඳහන් කර ඇත. කල්‍යාණවතී රැජින ද ගංග වංශයට අයත් බව ඉහත සඳහන් විය. මේ සාධක අනුව අනන්තවර්මන් චෝඩගංග රජුගේ රන්පනම් කාසි හාරගම ප්‍රදේශයේ සංසරණය වීමට හේතු තේරුම් ගත හැකි ය.

මේ අනුව කල්‍යාණවතී රැජනගේ අණසක පැවැති හාරගම හා තදාසන්න ප්‍රදේශයට වරින් වර එල්ල වූ මාඝගේ පහරදීම් නිසා හාරගම තිබූ විහාරය විනාශ වී යන්නට ඇත. විහාරය වැනසුණ දෙමළ ආක්‍රමණය මෙය යැයි පිළිගැනිමට මේ අනුව සෑහෙන පදනමක් ඇත.

මාඝගේ ආධිපත්‍යයෙන් පසු මේ ප්‍රදේශය දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් දඹදෙණි රාජ්‍යයට ඈදාගන්නට ඇත. දෙමළ උවදුරට ලක් වී විනාශ වී තිබූ හාරගම විහාරය පළිසකර කරවා පරාක්‍රමබාහු නමින් ඊට ගම්වර පූජා කරන්නට ඇත්තේ දඹදෙණි පරාක්‍රමබාහු විසින් බව සැලකිය හැකි ය.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර විසින් ලන්ඩන් කෞතුකාගාරයෙන් පිටපත් කරගෙන වුත් 1964 සාහිත්‍ය සඟරාවේ පළ කරන ලද අලුත්නුවර දේවාල සන්නසින් දෙවන පැරකුම්බා විසින් දෙමළ සතුරන් පැරදවූ බවට කියැවෙන සඳහන ද ඒ හා ගැළපිය හැකිය.

Comments