
ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය මෙන්ම, ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය පසුගිය දා නිමාව දුටුවේ නවමං සෙවිය යුතු නව දොරටු කිහිපයක් ද විවර කරමින්ය.
ජනාධිපති රන් කුසලාන පිරිමි විවෘත අවසන් තරගයේදී සියනෑතරු විසින් බලරැස් පරාජය කරන ලදී. කාන්තා විවෘත අවසන් තරගයට කොස්වාඩිය විජය සහ කුරුණෑගල කැෂුවල් සුදුසුකම් ලබා සිටි අතර, විජය කණ්ඩායම ඉදිරිපත් නොවීම නිසා කැෂුවල් කණ්ඩායමට නිතරග ජයක් හිමි විය.
වයස අවුරුදු 22න් පහළ කාන්තා අවසන් තරගයේදී ඇලමෝනා කණ්ඩායම රතනපාල කණ්ඩායම පරාජය කළ අතර, පිරිමි 22න් පහළ අවසන් තරගයේදී ධම්මිස්සර ක්‍රීඩා සමාජය රාජසිංහ ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ කාන්තා සුපර් ලීග් තරගාවලියේ ගුවන් හමුදාව විසින් යුද හමුදාව පරාජය කරන ලදී. පිරිමි සුපර් ලීග් වටයේ වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය පරාජය කරන ලදී. ආධුනික කාන්තා අවසන් තරගයේදී හයිඩ්‍රාමනි කණ්ඩායම රතනපාල කණ්ඩායම පරාජය කළ අතර එකී පිරිමි අවසන් තරගයේදී නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම ගෝල්ඩන් ටයිම්ස් පරාජය කරන ලදී.
මෙම තරගාවලි සඳහා දිවයිනේ සතර දිග්භාගයම නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ අටදහසක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස්දහසකට අධික සංඛ්‍යාවක් අත්වැල් බැඳ ගත්හ. දිවයින පුරාම ග්‍රාමසේවා වසම් තුන්සියයක් පමණ ආවරණය වෙමින් මෙකී තරගාවලිය විහිදී පැවැත්වීම ද විශේෂත්වයකි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය මෙන්ම ජාතික ශූරතාවලිය කාන්තා - පිරිමි වශයෙන් පැවැත්වීම තුළ ග්‍රාමීය මට්ටමේ සිටම මෙකි තරගාවලියේ ආකර්ෂණීය භාවය මෙන්ම තරගකාරිත්වය ද ඉහළ යාමට හේතු වී තිබේ. එපමණක් ද නොව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හරහා ග්‍රාමසේවා මට්ටමින් ම ඉදිවෙන වේදිකාවට ගොඩවදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලය හරහා ජාත්‍යන්තරය දක්වා සිය ක්‍රීඩා කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට හැකි වටපිටාව සකසා ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. කුසලතා පිරි තරුණ ජවය ක්‍රීඩා පිටිය හරහා ජනගත කිරීමට ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය මෙන්ම ජාතික ශූරතාවලිය කදිම තෝතැන්නකි.
තරගකාරීත්වය
එහෙත් මෙයින් උපරිම ඵල ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව පමණක් නොව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද නෙලා ගත්තාද යන්න ගැටලුවකි. අවසන් තරගවල වොලිබෝල් ක්‍රීඩාවේ පැවැතිය යුතු ජීව ගුණය මේ අවසන් මහා තරග දෙක තුළදීම දක්නට නොලැබීම ලාංකේය ක්‍රීඩාව තව බොහෝ දුර යා යුතු බවට කදිම සාධකයකි.
ජනාධිපති රන් කුසලාන තරගාවලිය හෝ ජාතික ශූරතාවලිය ගත්ත ද මෙකී භූමිභාගයේ කුමන බාධක වැටකඩුළු අභියස වුවද පෙරට ගිය ද, මෙකී භූමිභාගයෙන් එළියේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කරගන්නා වූ ඉරණම් සහගත තත්ත්වයන් පිළිබඳ බලධාරින් මීට වඩා අවධානය යොමු කළ යුතුය. ලාංකේය සමස්ත ක්‍රීඩාව ම බිඳවැටී ඇති මොහොතක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදීමට නොහැකි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. මෙකී භූමිය තුළ කොතරම් තරගාවලි පැවැත්වුවද, මෙතැනින් එළියේ අප සිටින තැන දැනෙන්නේ තරගාවලියක් අවසානයේදීය. එකළොස්වැනි යොවුන් ආසියානු වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අටවටය පවා අහිමි වීමද බලධාරින්ගේ විශේෂ අවධානයට ලක්විය යුතු සාධකයකි.
යොවුන් ජවය කොහේද?
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 22න් පහළ ජාතික ශූරතාවලියේ ආධුනික තරගාවලිය, ජාතික තරුණ සේවා, රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ යොවුන් තරගාවලිය ගත්තද, වාර්ෂික එක් වන කණ්ඩායම් සංඛ්‍යාව සිය ගණනින් ඉහළ ගියද වොලිබෝල් ක්‍රීඩාවේ ඉස්මතු වීම නම් අල්ප බව පැහැදිලිය. මේවායේ අඩුපාඩු අතපසුවීම් හඳුනා ගැනීමට බලධාරින් මීට වඩා අවධානයක් යොමු කළ යුතුය.
දහවැනි යොවුන් ආසියානු තරගාවලියේදී පස්වැනි ස්ථානය හිමිකර ගත් ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව එතැනින් ගමන් කළ යුතුව තිබුණේ ඉදිරියටයි. මීට වසර තුනකට පෙර පස්වැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර අටවැනි තැන පවා අහිමි වීම ලෙහෙසියෙන් අමතක කළ හැකි හෝ බැහැර කළ හැකි දෙයක් නොවේ. සිවු අවුරුදු සැලසුම යටතේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට බොහෝ දුරක් යා හැකි බව පැහැදිලිය. වඩා වටින්නේ මේවා වචනවලට ලඝු නොකර යථාවක් බවට පත් කර ගැනීමට හැකි වටපිටාව සකසා ගැනීමය.
අපි සූදානම්ද?
ආසියානු මට්ටමේ ගත්තත් අපේ පාසල් මට්ටම මුල් අවදියේ ඉතාමත් දියුණුයි. සාමාන්‍යයෙන් කණ්ඩායම් 4000 - 5000 ක් ක්‍රීඩ කරන තරගාවලි ඉතාමත් අඩුයි. අපේ පාසල් මට්ටමේ තරගාවලියට විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් එක්වන බවද පවසන වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, නමුත් මේ තත්ත්වය වයස අවුරුදු 15 - 16 පමණවන විට ලාංකේය අධ්‍යාපනය සමඟ ගැටගැසී ඇති උපකාරක පන්ති ගිළගෙන ඇති බවද පවසයි. හෙතෙම වැඩදුරටත් පවසන්නේ මේ තත්ත්වය ප්‍රතිපත්තිමය වශයෙන්ම වෙනස් විය යුතු බවය.
සමස්තයක් ලෙස ලාංකේය ක්‍රීඩාවේ කඩාවැටීමේ දිග පළල තේරුම් නොගන්නා තාක් කල් ඕනෑම ප්‍රශ්නයක් මඟහැර යා හැකිය. නමුත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වනවිට අපට වඩා ලෝකය බොහෝ දුර ගමන් කර තිබෙන බව සිතා ගැනීමටවත් නොහැකිවනු ඇත. ජනාධිපති රන් කුසලානය හරහා මතුවන දක්ෂතාවන්ට වඩාත් හොඳ මෙන්ම ශක්තිමත් වේදිකාවක් සාදා දීමට බලධාරීන්ට හැකිවිය යුතුය. එය මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සහ ජාතික ශූරතාවලිය නිමා කර තවත් වසරකින් එකී තරගාවලියට පෙළ ගැසීමට වඩා වැදගත් වනු ඇත.











