ක්‍රීඩකයන් නරකට පොලඹවන්නන්ට ද දඬුවම් දිය යුතුය! | සිළුමිණ

ක්‍රීඩකයන් නරකට පොලඹවන්නන්ට ද දඬුවම් දිය යුතුය!

තහනම් උත්තේජකවලට ක්‍රීඩකයන් පොලඹවන්නන් ගැනත් සොයා බැලිය යුතු ය.

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පිළිගත් ක්‍රීඩා සංගම් හා සම්මේලන 62 ක් මෙරට ඇත. ඒ බොහෝ සංගම් හා සම්මේලන මෙන් ම ජාතික ඔලිම්පික් කමිටුව ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හෝ අදාළ ක්‍රීඩාවේ නිල ජගත් සංගමයට අනුබද්ධිතය. මේ සෑම ක්‍රීඩාවක්ම අන්තර්ජාතික තහනම් උත්තේජක නිවාරණ මර්ධන ආයතනය (WADA) යටතේ අධීක්ෂණය කරනු ලබයි. ඒ එම ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක ලබා ගැනීමෙන් වළක්වාලීමටය.

මෙම ජාත්‍යන්තර ආයතනයට අනුබද්ධිතව ශ්‍රී ලංකාවේද ආයතනයක් (SLADA) ක්‍රීඩා අමාත්‍යාංශය යටතේම පිහිටුවා තිබේ. ඒ සඳහා පුහුණුව ලද වෛද්‍යවරුන් කිහිප දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් මඟින් ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වලදීත් පුහුණු කාලයේදීත් පරීක්ෂාවට ලක් කෙරේ. මූත්‍ර සාම්පල මඟින් කෙරෙන මෙවැනි පරීක්ෂාවන් තරග ජයග්‍රාහකයන්ගේ පමණක් නොව සැක පහළ කෙරෙන ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගෙන් අහඹු ලෙස හෝ පරීක්ෂාවට ලක් කිරීම සිරිතය.

මෙම මූත්‍ර සාම්පල රැස් කිරීම විශේෂ ආරක්ෂිත ක්‍රමයකට සිදු කෙරෙන අතර ඒවා පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ ඒ සඳහාම වෙන්වූ විදෙස් පරීක්ෂණාගාරවල ය. තවමත් ශ්‍රී ලංකාවේ එවැනි පරීක්ෂණාගාරයක් නොමැත. එනිසා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය මේ සඳහා විශාල වියදමක් දරයි. මේ වන විට මනුෂ්‍යයන්ගේ පමණක් නොව තරග සඳහා යොදවන සතුන්ගේද මූත්‍ර සාම්පල දැන් පරීක්ෂාවට ලක් කෙරේ. පසුගිය වසරේ සිට නුවරඑළිය තුරඟ තරග අතරතුර තරග වදින අශ්වයෝ පවා මෙමඟින් පරීක්ෂා කෙරෙති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරගවලදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම මෙම පරීක්ෂණයෙන් අසමත්වීම නිසා පදක්කම් ද අහිමි කරනු ලැබ තහනමට ලක්වූ අවස්ථා ගණනාවකි.

තහනම් උත්තේජක එන්නත් මඟින් හෝ අතිරේක පෝෂණ ආහාර ද්‍රව්‍ය මගින් ශරීරයට ලබාගත හැකිය. මෙම අතිරේක පෝෂණ ආහාර ද්‍රව්‍ය නොගන්නා ක්‍රීඩකයකු නොවන තරම් අද ක්‍රීඩාව මෙම අතිරේක පෝෂණවලට නැඹුරු වී තිබේ.

එහෙත් සෑම වසරකම නිකුත් කෙරෙන මෙම අතිරේක පෝෂණවල නිෂ්පාදන සමාගම මගින් ඒවායේ අඩංගු කෙරෙන සංඝටක ලේබලයේම හඳුන්වා දෙනු ලබයි. ස්ටෙරොයිඩ් වැනි තහනම් උත්තේජක නොමැති අතිරේක පෝෂණ වර්ගවල ලැයිස්තුවක් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා වෛද්‍ය ඒකකය මඟින් සෑම වසරක් පාසාම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී ඔවුන් හා පුහුණුකරුවන් දැනුවත් කිරීම ද සිදු කෙරේ.

එහෙත් වැරදීමකින් ලබා ගැනීම හෝ පුහුණුකරුවන්ගේ බලපෑම මත මෙම තහනම් උත්තේජක ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතැම් විට අසු නොවී ලිස්සා ගිය ද අවසානයේ කොතැනකදී හෝ කොටු වෙති.

‍මෙම තහනම් උත්තේජක මාෆියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගලවා ගැනීම සඳහා රජය මඟින් ද දැඩි නීති පනවා තිබේ. 2013 වසරේ අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ තහනම් උත්තේජක ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබල දීමට වරදකරු මෙන් ම අවුරුදු දෙකකට නොවැ‍ඩි සිරදඬුවමක් හා ලක්ෂ 5කට නොඅඩු ලක්ෂ 10කට නොවැඩි දඩයක් නියම කළ හැකි දඩයක් වන්නේ ය. ඒ අනුව ච‍ූදිතයාගේ පුහුණුකරුට ද ඔහුට ආධාර දෙන්නකුට ද මේ දඬුවම ලබාදිය හැක. එහෙත් මේ සඳහා අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය.

අද අප රටේ විශේෂයෙන් ම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරින් වර ඔවුන්ගේ පුහුණුකරුවන් මාරු කිරීම සිරිතකි‍. බොහෝ විට ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන පුහුණුකරුවන් තෝරාගෙන ඔවුන් වෙත යෑමත් බ්‍රොයිලර් කුකුළන් සේ කලට පෙර පිබිදීමත් මොවුන්ගේ අපේක්ෂාවයි. එනිසා කලක් මුළුල්ලේ එක තැන පල් වුණු ක්‍රීඩකයකු හිටි අඩියේ විශිෂ්ට දස්කම් පෑමේදී එම ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරු කෙරෙහි ද අවිශ්වාසයේ ඇඟිල්ල දිගු වීම සාමාන්‍ය සිද්ධියකි. එනිසා එම අවිශ්වාසයට නිසි පිළිතුරු දීම භාර වන්නේ ද ඔවුන්ටමය.

පසුගියදා පැවැති යුද හමුදා අන්තර් ඒකක මලල ක්‍රීඩා උලෙළට හිටි අඩියේ කඩා පැන්න තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නිලධාරීන් එහිදී කරන ලද මූත්‍ර සාම්පල පරීක්ෂාවකදී මීටර් 200 හා 400 ධාවන ශූරයකුගේ මුත්‍ර සාම්පලවල තහනම් උත්තේජක සංඝටක අඩංගු වී තිබුණු බව පරීක්ෂණාගාර වාර්තාවේදී ඔප්පු වී තිබේ. එහෙත් අදාළ නිලධාරීන් මෙන් ම මලල ක්‍රීඩා සංගමයත් තවමත් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත (අඟහරුවාදා වන තෙක්). ඒ අදාළ ක්‍රීඩකයා ‘බී’ සාම්පලය පරීක්ෂා කර බලන ලෙස කර ඇති අභියාචනය නිසාවෙනි.

අදාළ අභියාචනයේදී මෙන් ම තරගයේදීත් මේ ක්‍රීඩකයා තම පුහුණුකරු ලෙස හඳුන්වාදී ඇත්තේ මලල ක්‍රීඩා පුහුණුකරුවකු නොව වෙනත් පුද්ගලයකු බව වාර්තා වේ. මෙය සත්‍යයක් නම් ඔහු මෙහිදී තම පුහුණුකරු සැඟවූයේ ඇයි ද යන්නද ගැටලුවකි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙක් මෙම සිද්ධිය පිළිබඳ අවධානයෙන් පසු වෙති. මේ අතර ක්‍රීඩාංගණ වෙතටම අතිරේක පෝෂණ ආහාර රැගෙන එන ජංගම වාහනයක් ගැන ද කියැවේ. මේ මඟින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ඉහළ මිල ගණන්වලට අතිරේක පෝෂණ ආහාර සලාක ලබාදෙන බව ද කියැවේ. මීට වසර ගණනකට පෙර ටොරින්ටන් පිටිය අවට සිරින්ජර් කටු විසි කර දමා තිබුණු බව ද වාර්තා‍ විය.

මෙවැනි අභිරහස් සිදුවීම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය හා එහි තහනම් උත්තේජන නිවාරණ ආයතනයත්, මලල ක්‍රීඩා සංගමයත් දැලක් එළා පරීක්ෂණයක් පැවැත්වීම සිදු කළ යුතුව ඇත.

- රංජන් පරණවිතාන

Comments