
වසරක් ගෙවී වසරක් උදාවීමට තවත් ඇත්තේ දින අටකි. පසුගිය දින කිහිපයේ මෙරට හමාගිය දේශපාලනික කුණාටුව හමුවේ බොහෝ දෑ උඩුයටිකුරු විය. මෙයින් ක්‍රීඩා ක්ෂේත්‍රයට ද මිදී කටයුතු කිරීමට නොහැකි විය. මේ සටහන තබන විටත් නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා දිවුරුම් දී නොතිබුණු අතර, ඒ නිසා එකී අමාත්‍යවරයා ගැන ගුණ වයන්නට හෝ මාරයි යැයි පැවැසීමට ඉක්මන් නොවෙමු.
කිසිම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක දුක්වන ජයග්‍රහණ හුදු ෂෝට්කට් ඔස්සේ වැටී ඇතැයි කිසිවකු හෝ සිතන්නේ නම් එය මුළාවකි. විචාරයට පෙර හැදෑරීමේ වැදගත්කම ලොව පවා පිළිගෙන තිබෙන තත්ත්වයක එය අමතක කරදමා හෝ නොසලකා හැර කටයුතු කිරීම මඟින් ප්‍රදර්ශනය වන්නේ හුදු හිස්කම පමණි.
ලාංකේය ඔලිම්පික් කමිටුව ම ට්‍රැවල් ඒජන්සියකි. හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දුට අනුව පසුගිය කාලය පුරා සිද්ධ වූයේ ට්‍රිප් එකක් ගිහින් පැමිණීම පමණි. තරගාවලියට ඉදිරිපත් වී හිස් අතින් පැමිණි සෑම අවස්ථාවකදීම එකිනෙකා අනිකාට ඇඟිලි දිගු කිරීම් හැර වෙන දෙයක් කිරීමට බොහෝ දෙනකුට කාලයක් ද නැත.
ක්‍රීඩා අමාත්‍යවරයා ස්ථිරසාර වැඩපිළිවෙළකට සිය කාලය තුළ අත ගසන්නේ නම් එය අනාගතයට වැඩදායකය. ලාංකේය ක්‍රීඩාව මේ ආකාරයෙන් බිඳවැටීමට හේතුසාධක වී ඇත්තේ දැක්මක්, සැලැස්මක් සහ නිසි වැඩපිළිවෙළක් තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවන බැවිනි. දැක්මක් සහිතව, සැලසුමකට වැඩ කළ හැකි වැඩකාරයන් ද මෙයට පයින් ගසා අහක බලාගෙන සිටින්නේ, නිකමුන් ජරාජීර්ණ වී ඔජස් ගලන ක්‍රීඩාවේ බඩපිනුම් ගසන බැවිනි.
සංගම් අරක්ගෙන සිටින පුස්සන් ද පරාජයේ මළකුණු බුදිමින් ම එහිම ලැග සිටින්නේ මේ රීරිමාංසයෙන් ම තම තමන්ගේ ගිණුම්වලට තව තවත් කීයක් බැර කරගැනීමට මිස ක්‍රීඩාවට ඇති ආදරයකින් නොවන බවට සාධක සෙවීමට වෙහෙස මහන්සිවීම ද අපරාධයකි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු ද වැඩ බාර ගනිමින් මීට කළකට පෙර ප්‍රකාශ කළේ තමාගේ වේගයෙන් දිවඑන ලෙසටය. අදටත් එකී නිලධාරින්ම ක්‍රීඩාවට හෙණ පාත් වුවද තම තමන්ගේ වේගයෙන් ක්‍රීඩාව නම් කාගෙන යන බව පැහැදිලිය. ක්‍රීඩාවේ පිළිල බවට පත්ව ඇති මෙබඳු නිලධාරිහු ක්‍රීඩා අමාත්‍යවරයා කවුරුවුවද මොන සෙල්ලමක් දමා හෝ තමන්ගේ උගුලේ ගොදුරු බවට පත්කර ගනිති. කාලයෙන් කාලයට පත්වන අමාත්‍යවරුන්ද එකම සැපය මෙය යැයි සිතා නිලධාරින්ගේ කීමට දපනේ වැටුණු බව අතීතය දිහා හැරී බැලීමේදී ඕන තරම් සාධක සපයයි. ක්‍රීඩා අමාත්‍යවරයා ද මෙබඳු නිලධාරින්ගේ දපනේ වැටුණාහොත් වැඩි කල් නොගොස් ම මේ ගොඩට එකතු වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
1990 - 2000 යන දස වසර තුළ මෙරට ක්‍රීඩාවේ අග්‍රඵලය නෙලා ගත් කාල පරිච්ඡේදය ලෙස හැඳින්විය හැකිය. එවකට එස්. බී. දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා තමාට රුචි අරුචි සියලු දෙනා එකට කැටිකර ගනිමින් එක් අරමුණකට සැලසුමකට සහ දැක්මකට අනුව සියල්ල ගොනු කළේය. ලාංකේය ක්‍රීඩාවේ නිර්මාණශීලි සැලසුම්කරුවා වූ කේ. බී. රත්නායකයන් ජාතික මහා ක්‍රීඩා උලෙළ ජාතික ක්‍රීඩා විද්‍යායතනය ආදිය නිර්මාණය කරමින් දුටු සිහින සිහිනයන්ට සීමා නොකළ එස්. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා සම්පත් ඒකරාශි කරගනිමින් ඒ සියල්ල සුනිල් ගුණවර්ධන සහ එක්ව විධිමත් අයුරින් සැලසුම් කරමින් කළමනාකරණය කළ අතර, එකී දස වසර තුළ දකුණු ආසියානු, ආසියාතික සහ විශේෂයෙන් ඔලිම්පික් මට්ටම දක්වා කේවල ඉසව් නියෝජනයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගැනීමට සමත් විය. 2000 ඔලිම්පික් උලෙළ දහතුන් දෙනකු මලල ක්‍රීඩාවෙන් සුදුසුකම් ලැබූ අතර ඉන් සිවු දෙනකු ඒ ශ්‍රේණියෙන් ඔලිම්පික් නියෝජනය කළේය. ඉන් සුසන්තිකා ජයසිංහ රිදී පදක්කම දිනා ගත්තාය. එතැනින් නොනැවතුණු සුසන්තිකා කුමන මට්ටමින් ගත්තද ලෝකය ජයගත් එකම කේවල ක්‍රීඩා තරුව වූවාය. 1970 - 74 දී ද මෙවන් කීර්තිමත් ඉතිහාසයක් අපට හිමිව තිබූ බව සටහන් නොකළහොත් එයද අඩුවකි. අද මේ සියල්ල අතීත සිහිවටන බවට පත්ව තිබේ.
එස්. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා සහ සුනිල් ගුණවර්ධනගෙන් පසු අපේ ක්‍රීඩාව ජරාජීර්ණත්වයට පත් වූයේ මෙයට අත ගැසූ නිකමුන් මෙය තනිකරම බඩගෝස්තරවාදයක් කරගත් බැවිනි. 2000ට පසු සියල්ල කණපිට පෙරළමින් සිදුවූයේ ක්‍රීඩාව ජීවත් කරවන්නන් ප්‍රාමාණික දැනුම ඇත්තන් අකාමකා දමමින් ක්‍රීඩාවෙන් ජීවත්වෙන පරපෝෂිතයන් ක්‍රීඩාව ගිළගැනීමයි. මේ ආකල්ප සියල්ලට නැවතීමේ තිත තැබිය යුතුය.
අපේ සමස්ත ක්‍රීඩාවම ජාත්‍යන්තරය දක්වා පෝෂණය කරගත යුතුය. මේ සඳහා රජය මුලින්ම තීන්දු කළ යුත්තේ රාජ්‍යයක පැවැත්මට නිරෝගි ජනකොටසක් ඇවැසි යැයිද එහිදී රජයක් ක්‍රීඩාව සඳහා වැඩිබරක් තිබිය යුතුය. වැඩි කැප කිරීමක් කළ යුතුය. එහි ප්‍රතිඵලය රටක ක්‍රීඩා ජාත්‍යන්තරකරණයවීමය.
එහෙත් මේ කිසිවක් එක් එක් පුද්ගලාභිමතාර්ථ නොවිය යුතුය. පුද්ගලාභිමතාර්ථ මුල් වුවහොත් ඉක්මන් බිඳ වැටීම් ද වැළැක්විය නොහැකිය. පසුගිය කාලයේ මෙරට ක්‍රීඩාවට අත්වූයේ මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට තරම් දැනුම් තේරුම් ඇති නිලධාරින් සංගම් තුළ නොවීය. අපේ ක්‍රීඩාවේ තේරීම් ද අවුල් වියවුල් වලින් ද අඩු නැත. කණ්ඩායමක් තෝරා සංචිතගත කරනවාද? සංචිතයක් තෝරා කණ්ඩායම්ගත කරනවාද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි තරමට අද සංගම් නිලධාරින් කටයුතු කරති. මේ පිළිබඳ දැනුමක්, ප්‍රායෝගික වැඩපිළිවෙළක් හෝ නිර්ණයක් නොමැති නිසාම පැටලෙන්නේ පඹගාල්වල පමණි.
සංගම් සහ එකී නිලධාරින් ක්‍රීඩා අමාත්‍යාංශයට අනිවාර්යෙන්ම වගකිව යුතු පිරිස් කරගත යුතුය. අද දකුණු ආසියාව ජය ගත නොහැකි සංගම් ලෝක තරගාවලි පිළිබඳ පම්පෝරි ගසන්නේ අපි ශ්‍රේණිගත කිරීම්වල අහවල් ස්ථානයේ සිටින බව ප්‍රකාශ කරමින්ය. මේවා ගැන ප්‍රශ්න කිරීමට අමාත්‍යංශයට හැකිවිය යුතුය. ජාතික කණ්ඩායමක පුහුණුකරුවකු, කළමනාකරුවකු ඕනෑම මොහොතක යමක් වෙනස් කළ හැකි සැලසුම්කරුවන්, නිර්මාණකරුවන් පිරිසක් විය යුතුය. එසේ නොවන්නේ නම් මෙරටින් මොන පම්පෝරිගසා එළියට ගිය ද ජාත්‍යන්තරයේ දී අනාථවීම්, අන්දමන්දවීම් හැර වෙන කිසිවක් ඉතිරි නොවනු ඇත.
ක්‍රීඩාවේ අක්මුල් විහිදු කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කී අප අද පය ගසා සිටින්නේ කොතැනදැයි සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය. කාලයෙන් කාලයට පත්වන ක්‍රීඩා අමාත්‍යවරුන් කවරෙක්ද හෙතෙම මෙතෙක් කාලයක් කරගෙන ආවේ නිකමුන් සහ පුස්සන් විසින් එහාට මෙහාට පෙරළා දෙන ජරාගොඩ පාට පාටින් අයිසිං කිරීම පමණි. මේවාට නැවතීමේ තිත තැබීමේ හැකියාව අමාත්‍යවරයකුට තිබිය යුතුය.










