අපෙන් වැඩක් ගන්න පාපන්දු පරිපාලනයට වුවමනාවක් නෑ | සිළුමිණ

අපෙන් වැඩක් ගන්න පාපන්දු පරිපාලනයට වුවමනාවක් නෑ

කසුන් ජයසූරිය

දුප්පත් - පොහොසත් කියන දෙයත් සමහර අවස්ථාවල බලපෑවා. මම දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. මම කොළඹ ආපු මුල් කාලයේ කොන් වෙච්ච අවස්ථා තිබුණා. පස්සේ ජාතික කණ්ඩායමට ගිහින් තැනකට එනකොට මාව මග හැරලා ගිය ගොඩක් අය පස්සෙන් එන්න ගත්තා.

බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් පාපන්දුවේ අයන්න ආයන්න කියූ කසුන් ජයසූරිය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය හරහා සිය ක්‍රීඩා හැකියාවන් ප්‍රගුණ කර ගත්තේ ය. වයස අවුරුදු 17 දී ජාතික පාපන්දු කණ්ඩායමට එක්වූ කසුන් සිය විසි වසරක පාපන්දු දිවියට පසුගිය දා සමු දුන්නේ ය. මේ කසුන් සමඟ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

ගම ගැන කසුන්ට තියෙන දුරම මතකය මොන වගේද?

බදුල්ලේ අන්දෙණිය තමයි මගේ උපන් ගම. අධ්‍යාපනය ලැබුවේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ. පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වුණෙත් බදුල්ලේදීමයි. ධර්මදූත විද්‍යාලයේ 11 න් පහළ ක්‍රීඩා කරන කොට තමයි කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ආරාධනාවක් ලැබෙනවා, ඉස්කෝලෙට එන්න කියලා‍. ඒ ඇවිත් ක්‍රීඩා කරන කොට තමයි වයස අවුරුදු 16 දී ජාතික කණ්ඩායමට තේරුණේ.

අම්මා - තාත්තා මොනවාද කළේ?

අම්මා රැකියාවක් කළේ නෑ. තාමත් අපේ මහ ගෙදර ජීවත්වෙනවා. තාත්තා සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. තාත්තා ජීවතුන් අතර නෑ. තාත්තා තමයි මගේ ක්‍රීඩාවට මූලික අඩිතාලම දාලා දුන්නේ. පවුලේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.

බදුල්ල ධර්මදූත විද්‍යාලය කියන කොට ම පාපන්දු ක්‍රීඩාව තමයි මුලින් ම කියවෙන්නේ?

ඔව්, බදුල්ල ධර්මදූත විද්‍යාලය කියන කොටම ඉතිහාසයේ පවා පාපන්දු ක්‍රීඩාවට තමයි ප්‍රසිද්ධ. කොහොමත් ඒ දවස්වලත් අපේ ඉස්කෝලෙන් ජාතික කණ්ඩායමට 3 – 4 දෙනෙක්වත් අනිවාර්යයෙන් ම ක්‍රීඩා කරනවා.

පාපන්දු ක්‍රීඩාව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

මම පාපන්දු ක්‍රීඩාවට කොහොමත් කැමැතියි. පාසල් කාලයේ අපේ පාසලේ තිබුණු හැම ක්‍රීඩාවකට ම වගේ යොමු වුණා. සමස්ත ලංකා දක්වාම සමහර ක්‍රීඩාවලින් ඉදිරියට ආවා.

පාපන්දුවට අමතරව වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ වගේ ම මලල ක්‍රීඩාවටත් විශේෂ දක්ෂතාවක් දැක්වූවා. විශේෂයෙන් දිවීම් ඉසව්වල තමයි ඉදිරියෙන් ම, හිටියේ. පස්සේ පාපන්දු ක්‍රීඩාවට හිත ගියාට අනෙක් ක්‍රීඩා එහෙම අත හැරුණා. හොකී ක්‍රීඩාවත් ඒ දවස්වල මගේ හිත දිනාගෙන තිබුණු දෙයක්.

පාපන්දු ක්‍රීඩාව සීරියස් කියලා හිතුණේ කොයි කාලයේද?

11න් පහළ ක්‍රීඩා කරන කොට ශාන්ත ජෝශප් විද්‍යාලයට එන්න කියන කොටත් පාපන්දු ක්‍රීඩාව ගැන ලොකු උනන්දුවක්, කැපවීමක් තිබූ නිසා. ඒ නිසාම වෙන්න ඇති අවුරුදු 16දීම ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණේ. කොහොම හරි ජාතික කණ්ඩායමට තේරුණු දවසේ ඉඳලා මේ උනන්දුව, කැපවීම වැඩි වුණා.

ඒ දවස්වල ශාන්ත ජෝශප් විද්‍යාලයට එන්නත් සුවිශේෂී හැකියාවක් තියෙන්න ඇති?

ඒ දවස්වල තිබ්බේ මයිලෝ පාපන්දු තරගාවලිය. මේ තරගාවලියේ මගේ දක්ෂතා දැකලා තමයි ශාන්ත ජෝශප් විද්‍යාලයේ පියතුමන්ලා තමයි මට කතා කරන්නේ.

එක පාරම කොළඹ එන්න කැමැති වුණාද?

පාපන්දු තිබුණේ කොළඹ‍.‍ තනියෙන් ඇවිත් කොළඹ ක්‍රීඩා කරන්න බෑ. අවස්ථා නෑ. නෑදෑයෝ අඳුනන අය හිටියේ නෑ. පාසලේම තමයි නැවතුණේ. මේ ගමන මගේ පාපන්දු ජීවිතයට ලොකු අඩිතාලමක් වුණා. අම්මා - තාත්තා වුණත් එක පාරම කැමැති වුණේ නෑ.

මගේ ලොකු අයියා රෝෂාන් ජයසූරිය. එයත් එක්ක නැවතිලා තමයි මම ක්‍රීඩා කළේ. අයියත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. අපි තුන් දෙනාම පාපන්දු ක්‍රීඩාවට දක්ෂයි. බාලේන්ද්‍ර ඇන්තනී සර් තමයි මගේ කොළඹ ජීවිතයේ සම්පූර්ණ වගකීම බාර ගත්තේ.

බදුල්ලේ ඉඳලා කොළඹ එනකොට මේ වෙනස දැනුණේ කොහොමද?

එහෙම ලොකු වෙනසක් දැනුණේ නෑ. උදේට ඉස්කෝලෙට යනවා. හවසට පුහුණුවීම්වලට යනවා. පාසල් කාලයේ සමාජයටත් වැඩිය නැඹුරු වුණේ නෑ. පාසල් කාලයේ විවිධ අය හමු වුණාට අපි අපේ වැඩ ටික කරගෙන සාමාන්‍ය විදියට හිටියා. කොළඹ හු‍ෙදකලා ජීවිතයකට හුරු වුණා.

හු‍ෙදකලා ජීවිතයකට හුරු වුණේ ඇයි?

දන්න අය නෑ. පාපන්දු ක්‍රීඩා කරනවා. පුහුණුවීම් පාසල් වැඩ, මේවත් එක්ක එක්තරා විදියකට හුදකලා ජීවිතයකට හුරු වුණා.

දුප්පත් - පොහොසත් කියන දෙයත් සමහර අවස්ථාවල බලපෑවා. මම දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. මම කොළඹ ආපු මුල් කාලයේ කොන් වෙච්ච අවස්ථා තිබුණා. පස්සේ ජාතික කණ්ඩායමට ගිහින් තැනකට එනකොට මාව මග හැරලා ගිය ගොඩක් අය පස්සෙන් එන්න ගත්තා.

ශාන්ත ජෝශප් විද්‍යාලයේදී මේ දේවල් දැනුණාද?

හුඟක් වෙලාවට දැනුණා. හැබැයි ඒ වගේ අවස්ථාවලදී ළමයින්ම තමයි මගේ උදව්වට ආවේ.

මම මේ දේවල් අයියලා එක්ක වගේම අම්මා එක්ක තමයි වැඩිපුරම කතා කළේ.

වයස අවුරුදු 16 දී ජාතික කණ්ඩායමට එන එක ලොකු අභියෝගයක් වෙන්න ඇති?

ඔව්. ලොකු අභියෝගයක්. 1995 රන් කුසලානය අපි දිනා ගන්න කොට 1997 දී තමයි ජාතික පිලට එන්නේ. 96 අග 97 මුල් භාගයේ විතර තමයි මගේ ජීවිතයේ මේ පෙරළිය වෙන්නේ.

ඒ දවස්වල ජාතික කණ්ඩායමට එනවා කියන්නේ ලොකු අභියෝගයක්. අවුරුදු 16 වන කොට කොළඹ ප්‍රධාන පෙළේ කණ්ඩායමකට ක්‍රීඩා කරනවා. ශාන්ත ජෝශප් විද්‍යාලයේ ම ආදි ශිෂ්‍ය කණ්ඩායමට තමයි මුලින් ම ක්‍රීඩා කළේ. අපි එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගාවලිය දක්වාම ආවා. මාව කසුන් විදියට දැන ගත්තේත් ඔය තරගාවලිය හරහා තමයි.

කසුන් ජයසූරිය සමාජගත වෙන්නේ කොතැනදී ද?

මම ආසියානු පාසල් පාපන්දු තරගාවලි තුනකට ක්‍රීඩා කළා. 1996 – 97 සහ 98 දී. අඛණ්ඩව ආසියානු පාසල් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළේ මම විතරයි. ඊට පස්සේ යොවුන් කණ්ඩායමට තේරුණා. ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර වාරයේ තමයි මේ අවස්ථා හිමිවුණේ. ඔය අතර වාරයේ තමයි කසුන් කියන නමට සම‍ාජයේ තැනක් හැදෙන්නේ.

තරගයකට යන කොට කොහොමද කසුන්ගේ ඔළුව වැඩ කරන්නේ?

සම්පූර්ණයෙන් ම ඔළුව නිදහසේ තියාගෙන තමයි තරගාවලියකට යන්නේ. අද ගෝලයක් ගහනවා දෙකක් ගහනවා කියලා හිතාගෙනම යනවා. ඒ විදියටම හොඳට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා‍.

ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ පාපන්දුවේ වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?

අපේ රටේ වෘත්තිමය මට්ටමේ ක්‍රීඩාව නැති නිසා අඩු පාඩු ඕනෑ තරම් තියෙනවා. අපිට දක්ෂ සහ හොඳ ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ව වෘත්තීය මට්ටමට ගෙන යනවා නම්, හොඳ ක්‍රීඩකයෝ බිහි කර ගන්න එක අමාරු නෑ‍.

ජාතික තලයකට යන කොට අපිට ඕනෑ තරම් අඩු පාඩු තියෙනවා. පාපන්දු පරිපාලනය මේ ගැන අවධානය යොමු කරනවා නම් අපිට පාපන්දු ක්‍රීඩාවෙන් මීට වඩා දුර ගමනක් යන්න පුළුවන්.

බලපාලා තියෙන හේතු මොනවාද?

මූලික වගකීම පාපන්දු සම්මේලනය බාර ගන්න ඕනෑ.‍ මේක ලොකු අභියෝගයක්. උත්තර තියෙන්නේ ඔවුන් ළඟ. ක්‍රීඩකයන් හඳුනා ගැනීම, ඉදිරියට ගැනීම වගේ දේවල් කරන්න ඕනෑ ඔවුන්. එහෙම වුණොත් හොඳ තරගාවලියක් අපිට යන්න පුළුවන්. වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් අදටත් අපට නෑ. වෙන රටවල් නම් විශාල මුදල් ගෙවීම් කරනවා. අපේ රටේ එවැනි ගෙවීම් කරන්නේ නෑ. එතකොට ඔවුන්ට තියෙන ගැටලු විසඳගෙන තමයි ක්‍රීඩාව ගැන අවධානය යොමු කරන්නේ. දක්ෂතාව වැඩි කර ගෙන ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම් ඔවුන්ගේ ප්‍රශ්න විසැඳෙන්න ඕනෑ‍. එහෙම නැතුව ඉදිරියට යන එක ලෙහෙසි නෑ.

වසර 20ක ඔබේ පාපන්දු ඉතිහාසයේ ඉගෙන ගත්ත ප්‍රධානම දේ?

මම හුඟක් දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. කිසි දෙයක් තිබුණේ නෑ. අඩු ම තරමේ සපත්තු දෙකක්වත් තිබුණේ නෑ. ඉදිරියට යනකොට යම් යම් දේවල් හම්බ වුණා. දැන් ඊට වඩා දේවල් ක්‍රීඩකයන්ට ලැබෙනවා.‍ මේවා ලැබෙන්න ඕනෑ. ඒ ගැන සතුටු වෙනවා.

බිරියගෙන් මොන වගේ සහයෝගයක් ද ලැබුණේ මේ ගමනට?

2010 දී ජාතික කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 15 දෙනෙක් ඉවත් කරනවා. මේ තරගාවලියෙන් මම ගෝල නවයක් ගහලා සෝන්ඩර්ස් එෆ්.ඒ. තරගාවලියේ අවසන් මහා තරගයට ගෙනාවා.

මම ඉවත් වෙනවා කිව්වම හුඟක් අය කිව්වේ දැනට ක්‍රීඩා කරන අයට වඩා හොඳට කරන්න පුළුවන්. ඇයි අයින් වෙන්නේ? කියලා අහනවා. මම කැමැතියි පුහුණුකරුවකු විදියට ජාතික කණ්ඩායමට සම්පත් බිහි කරන්න. හැබැයි පාපන්දුවෙන් කිසිම සහයෝගයක් ඒ සඳහා නෑ.අන්තර්ජාතික මට්ටමින් ගත්තාම ඉන්දියාවේ සහ මාලදිවයිනේ ක්‍රීඩා කරලා තියෙනවා.මේ හැම දෙයක් ඇතුළේ ම බිරියගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පාපන්දුවට එන අයට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ වුවමනාවක් තියෙනවා කියලා හිතෙන්නේ නෑ.

2010 දී මට රට හැරලා යන්න හිතුණා. ඒ තරම් කලකිරීමක් ඇති වුණේ. අපේ හොඳ කාලයේ අපිට යමක් කරන්න දෙන්නේ නැත්නම් වැඩක් නෑ කියලා හිතුණා. එදා බිරිය - අම්මා - තාත්තා - අයියලා කරපු දිරිමත් කිරීම නිසා තමයි මම මේ තරම් දුර ආවේ.

අපේ පාපන්දුවට වැරදුණෙත් මේ 2010 තීරණයද?

මට හිතෙන සහ දැනෙන විදියට අපේ කඩා වැටීමට හේතුවුණේ ඔය වැරැදි තීරණය තමයි. සමහර අය අපි උඩට එනකොට තරග පාවාදීම්වලට කොටු කරන්න උත්සාහ කළා. ඒවා ඔප්පු වුණේ නෑ. මම අවුරුදු දෙකක කාලයක් චෝදනාකරුවෙක් විදියට ඉඳලා නිදහස් වුණා. මම ඉවසීම තමයි පාපන්දුවෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම. හැබැයි මට හුඟක් වෙලාවට තරහා යනවා.

Comments