වැරැදුණු ගෝන දඩයමකින් හෙළි වුණ බිහිසුණු අවි ගබඩාවක සුලමුල | Page 3 | සිළුමිණ

වැරැදුණු ගෝන දඩයමකින් හෙළි වුණ බිහිසුණු අවි ගබඩාවක සුලමුල

පසුගිය 09 වැනිදා පෙරවරුවේ බේරුවල, දීනගොඩ හෙවත් පත්තෙකඩේ ප්‍රදේශයේ පිහිටි දෙමහල් සුඛෝපභෝගී නිවෙසක තිබී නීති විරෝධි ගිනිඅවි තොගයක් අත්අඩංගුවට ගැනිණි. නිවෙස් හිමියා මොහොමඩ් ජෝෆර් අබ්දුල් නාදිර් නැමැත්තෙකි.

කළුතර නීතිය බලගැන්වීමේ ඒකකයේ කොස්තාපල් ගුණවර්ධන වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි. එම හෝඩුවාවෙන් කියැවුණේ දෙදෙනෙකු විසින් ගෝනකු වෙඩි තබා මරා WP CAU 0722 දරන සුඛෝපභෝගී මෝටර් රථයෙන් රැගෙන යන බවය. ඒ අනුව නීතිය බලගැන්වීමේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස පසුගිය නවවැනිදා අගලවත්ත, ලත්පඳුර හංදියේ ලබුදොළට හැරෙන මාර්ගයේ රැකවල්ලා සිටියේය.

පෙරවරු 8.30 පමණ වන විට අදාළ මෝටර් රථය පැමිණෙමින් තිබිණි. පොලිසිය රථය පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. අවසානයේදී ඔත්තුකරුවා ලබාදුන් ඔත්තුව නිවැරදි බව තහවුරු විණි. මරා දමන ලද ගෝනාගේ සිරුර රථයේ ඩිකියේ විය.

සැකකරුවන් දෙදෙනාව පරීක්ෂා කළ නිලධාරීන්ට රථයේ ගමන් ගත් මොහොමඩ් ජෝෆර් අබ්දුල් නාදිර් නැමැත්තාගේ කමිස සාක්කුවේ තිබී හිස් පතොරම් කොපු දෙකක් හමු විණි. පොලිසියට සැකයක් ඇති විය. ඔවුහු මේ පතොරොම් කොපු දෙක පිළිබඳව දිගින් දිගටම නාදිර්ගෙන් ප්‍රශ්න කළේය.

නිලධාරීහු මේ පතොරොම් යොදා ගත් ගිනි අවිය ගැන විමසීමක් කළහ. ඒ විමසීමත් සමග නාදිර් ගිනිඅවි තොගය ගැන සියලු තතු පාපෝච්චාරණය කර තිබිණි. එසැණින් ක්‍රියාත්මක වූ නිලධාරිහු පෙරවරු දහය වෙද්දී බේරුවල පිහිටි නාදිර්ගේ දෙමහල් නිවෙස සොයා ගියහ. මුළු නිවෙසම පරීක්ෂා කළ නිලධාරීන්ට ඔහුගේ කාමරයේ ඇඳ යට තිබී ගිනිඅවි තොගය සොයාගත හැකිවිය.

මෙහෙයුම

නාදිර්ගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් විදේශීය රටක නිෂ්පාදිත තවත් ගිනිඅවියක් සොයා ගැනිණි. ඒ පසුගිය බදාදා දින බදුරලිය නිවෙසක තිබියදීය. මීට පෙරද පසුගිය ඔක්තෝබර් 18 වැනිදා මෙවැනිම ගිනි අවිතොගයක් අත්අඩංගුවට ගැනු‍ෙණ් කෑගල්ලේ වෙසෙන ඉමිටියාස් කාදර්ගේ නිවසේ තිබියදීය.

කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්නගේ උපදෙස් මත මතුගම පොලිස් අධිකාරි 1 සංජය ඉරසිංහගේ මෙහෙයවීමෙන් කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තිලංග සංජීව එක්ව පොලිස් සැරයන්වරුන් වන 3457 ඉන්දික, 27118 සමන්, 37109 රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 44817 ගුණවර්ධන, 48256 ජයරත්න, 49256 සරත්, 4298 කුමාරසිරි, 80776 කරුණාරත්න සහ පොලිස් ආරක්ෂක සහායක 755 ප්‍රියන්ත ඇතුළු පිරිස විසින් එම දෙමහල් මන්දිරය පරීක්ෂාවට ලක් කෙරිණි.

නාදිර්ගේ නිදන කාමරයේ ඇඳ යට තිබී මිනි ඌෂි වර්ගයේ අවියක්, ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි හයක් සහ එම අවිවලට යොදන ජීව උණ්ඩ එකසිය හයක්, 0.25 වර්ගයේ ගිනිඅවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 800ක්, වායු රයිෆල් දෙකක්, දුනු විදින අවියක් සමඟ විදේශයන්හි නිෂ්පාදිත නවීන ගිනිඅවි විශාල තොගයක් එහිදී සොයා ගැනුණේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 40ක්ද සමඟිනි.

පාපොච්චාරණය

අත්අඩංගුවට පත් නාදිර් පවසා තිබුණේ තමා කලෙක සිටම විනෝදාංශයක් ලෙස ගිනිඅවි එකතු කරන බවය. තම පියා ජීවත්ව සිටි සමයේ සිටම නිවෙසේ ගිනිඅවි තිබූ බවය. බේරුවල ප්‍රදේශයේ මහා පරිමාණ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුව සිටි නාදිර්ගේ පියා මීට කලෙකට පෙර මියගොස් තිබිණි. තනිකඩ දිවියක් ගත කරන 45 වියේ පසුවන නාදිර් පියාගේ සේසත සුපිරි දිවියක් ගත කිරීම වෙනුවෙන් වියපැහැදම් කරමින් යාළු-මිත්‍රයන් සමඟ විනෝදයට සතුන් දඩයම් කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති බව කියැවිනි.

ගිනිඅවි තොගය හසුවූ නිවෙසේ නාදිර් සමඟ ඔහුගේ තවත් සහෝදරයෙක් වෙසේ. එසේම නාදිර් ගිනිඅවි අලුත්වැඩියා කිරීමේ මනා දක්ෂතාවෙන් හෙබි පුද්ගලයෙකු බවටද වාර්තා විය. ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථානයකින් ගිනිඅවි පිළිබඳව හැදෑරීමක් කර ඇති බවටද පොලිසියට තොරතුරු හෙළි වේ. එම නිසා ඔහුට මේ ගිනිඅවි ලැබුණේ කාගෙන්ද, අපරාධකරුවන්ගෙන් අලුත්වැඩියා කිරීමට ලැබුණු ඒවා ද නැද්ද යන්න ගැනත් සෙවීමට අපරාධ පරීක්ෂණ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

අත්අඩංගුවට ගැනුණු මිනිඋෂි ගිනිඅවිය මෙරට ප්‍රභූ ආරක්ෂාවට යොදාගන්නා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායම් භාවිත කරන අවියකි. එවැනි ගිනිඅවි සාමාන්‍ය පුද්ගලයන් අතට පත්වන්නෙ කෙසේද යන්න විශාල ගැටලුවකි.

ගිනිඅවි තොගය අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ගැන එම වැටලීම කළ කළුතර නීතිය බලගැන්වීමේ ස්ථානාධිපතිවරයා කීවේ මෙවන් කතාවකි.

“හමුවුණ සියලුම ගිනිඅවි විදේශයන්හි නිෂ්පාදිත නීතිවිරෝධී අවි. මිනි උෂි ගිනිඅවිය ඉතාලියේ නිෂ්පාදිත හොඳම තත්ත්වයේ එකක්. ඊට අමතරව පාකිස්තානය වැනි ලොව හොඳම ගිනිඅවි නිෂ්පාදිත රටවල ආයුධයි හමුවුණේ. ඔහුට මේ ගිනිඅවි ලැබුණේ කොහොමද කියලා සොයාගෙන යනවා. ඒ වගේම සැකකරු කලෙක සිටම ගිනිඅවි එකතු කිරීම සිදුකළ බවටත් අනාවරණය වෙනවා. රටේ විවිධ පළාත්වලින් ඔහුට ගිනිඅවි ලැබිලා තියෙන බවයි කීවේ. අපි ඒ සියලු දෙනා ගැනම ‍සොයා බලනවා. ඔවුන් කුමණ ආකාරයේ පුද්ගලයන්ද යන්න එයින් සොයාගත හැකි වේවි.“

නාදිර්ගේ නිවෙසේ තිබී හමුවූ නීති විරෝධී ගිනිඅවි මඟින් ඉදිරියේදී මෙරට අපරාධකරුවන් රැසකගේම තොරතුරු අනාවරණය කරගැනීමට නියමිතය.

නාදිර්ලා, කාදර්ලා වැනි ගිනිඅවි තොග පිටින් එක්රැස් කරගෙන සිටින පුද්ගලයන් මෙන්ම මෙරටදී පාතාලයන්ට ගිනිඅවි නිෂ්පාදනය කරන තැනැත්තෙක්ද මීට මාස කීපයකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුණේ කහවත්ත ප්‍රදේශයේදීය. මේ සියලු සිද්ධි පෙළ ගැසෙන්නේ සිවිල් සමාජය අනතුරක බව ඉඟි කරමිනි. නීති විරෝධී ගිනි අවි සුලභ රටක සිල්ලරට ගත හැකි පහසුම දේ මරණය ය.

 

Comments