
අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය (අයි.ඒ.ඒ.එෆ්.) සිය වාර්ෂික සම්මාන උලෙළ ඉකුත් දෙසැම්බර් මස 04 වැනිදා පවත්වනු ලැබීය. ඒ මොනකෝ රාජ්‍යයේ දී ය. එහි දී ප්‍රධානතම සම්මානය පිරිනැමුවේ වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවටයි. එය මෙවර හිමිකර ගත්තේ කෙන්යාවේ ඊලියුඩ් කිප්චෝගේ සහ කොලොම්බියාවේ කැටරින් ඉබාර්ගුයෙන් විසිනි.
2018 වසරේ නැඟී එන ක්‍රීඩකයා වූයේ ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් ය. හෙතෙම (උපත 1999 නොවැම්බර් 10) රිටි පැනීමේ ක්‍රීඩකයෙකි. මෙවර වසරේ ක්‍රීඩකයා තේරීම සඳහා නිර්දේශිත වූ 05 අතරටත් 19 හැවිරිදි ඩුප්ලාන්ටිස් සිටියේය.
මෙවර නැඟී එන ක්‍රීඩිකාව වූයේ ඇමෙරිකාවේ සිඩ්නි මැක්ලොග්ලින් ය. ඇයත් 19 හැවිරිදිය. සිඩ්නි (උපත 1999 අගෝස්තු 07) මීටර් 400 ශූරියකි. ඇය මීටර් 400 සඳහා ලෝක කනිෂ්ඨ ගෘහස්ත වාර්තාවක් පිහිටු වූයේ මේ වසරේදීය. එහි කාලය තත්පර 50.36 කි. එමෙන්ම එළිමහන් මීටර් 400 කඩුලු මතින් දිවීමට කනිෂ්ඨ ලෝක වාර්තාවකුත් (තත්පර 52.75) ඇය මේ වසරේ දී පිහිටුවූවාය.
මෙවර වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම සඳහා නිර්දේශිත වූ අවසන් පිරිස 10 කි. ඒ අතරින් වයස්ගතමයින් දෙදෙනාත් වූයේ කිප්චෝගේ සහ ඉබාර්ගුයෙන් ය. එසේ වුවත් දස්කම් දැක්වීමටත් සම්මාන හිමි කර ගැනීමටත් ක්‍රීඩා ලොව අවස්ථාව තිබෙන බව ඔවුන් සනාථ කළහ.
කැටරින් ඉබාර්ගුයෙන් (කොලොම්බියාව)
1984 වසරේ පෙබරවාරි මස 12 වැනිදා උපත ලැබුවාය. ඒ අපාර්ටාඩෝ නුවරදීය. ඇය අඩි 5 අඟල් 11 ක් උසැතිය. උස පැනීම, දුර පැනීමටත් දක්ෂය. එහෙත් ඇගේ සුපිරිතම දස්කම් තුන් පිම්මෙනි.
ඇගේ මලල ක්‍රීඩා දිවියේ හොඳ ම පුද්ගලික දක්ෂතා මෙසේය. උස පැනීම - මීටර් 1.93, දුර පැනීම - මීටර් 6.93, තුන් පිම්ම - මීටර් 15.31 සහ සත්ප්‍රයාමයට ලකුණු 5742 කි.
මෙම වසරේදීත් කැටරින්ගේ දස්කම් වැඩිපුර දක්නට ලැබුණේ තුන් පිම්මටයි. මේ වසරේ දී ඇය එහි දී අපරාජිතයි. ඒ අවසන් තරග 08 ක්ම ජය ගනිමිනි. මේ වසරේ හොඳ ම දක්ෂතාවත් (මීටර් 14.96) ඇයටමයි. මීට අමතරව ඩයමන්ඩ් ලීග් ශූරතාවත් හිමිකර ගන්නා ලදි.
2018 වසරේ මධ්‍යම ඇමෙරිකානු සහ කැරිබියානු ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ කොලොම්බියාවේ බාරාන්කුයිලා නුවරදීය. එහි දී දුර පැනීමටත් තුන් පිම්මටත් ඇය ද්විත්ව රන් පදක්කම් හිමිකර ගත්තාය.
මීට අමතරව මහාද්වීපික කුසලාන මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පවත්වනු ලැබුවේ චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා නුවරදීය. එහිදීත් ද්විත්ව රන් පදක්කම් තමන් සතු කර ගැනීමටත් ඇය සමත් වූවාය.
කැටරින්ගේ ළමා කාලය කිසිසේත් ම සුන්දර නොවීය. ඇය හැදුණේ වැඩුනණේ සිය ආච්චි යටතේය. ඒ එවකට කොලොම්බියාවේ පැවැති සන්නද්ධ ගැටුම් ඇගේ පවුලටත් බලපෑ බැවිනි. ඇගේ මවුපියණේ වෙන්වූහ. පියා වෙනිසියුලාවට ගියේය. මව කොලොම්බියාවේ ම වෙනත් පෙදෙසක ජීවත් වූවාය.
කැටරින් මුලින් ම වොලිබෝල් ක්‍රීඩිකාවකි. නමුත් පසුව ඇය තෝරා ගත්තේ මලල ක්‍රීඩාවයි. එම තේරීම නිවැරැදි බව මේ වන විට තහවුරු වී අවසන් ය.
අන්තර්ජාතිකව හිමිකර ගැනීමට හැකි සියලු ම ජයග්‍රහණ ඇයට මේ වන විටත් හිමිය. ඔලිම්පික් පදක්කම් දෙකකි. ඒ 2016 බ්‍රසීලයේ රියෝ - රන් සහ 2012 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් - රිදී හිමිකර ගත්තේ තුන් පිම්මෙනි.
ලෝක ශූරතාවලියේ දී තුන් පිම්මෙන් මුළු පදක්කම් සතරකි. රන් 02 රුසියාවේ මොස්කව් 2013 සහ චීනයේ බෙයිජිං 2015 දීය. රි දී පදක්කම 2017 ලන්ඩන් නුවරදීය. ලෝකඩ පදක්කම 2011 දකුණු කොරියාවේ ඩේගුහීදීය.
මීට අමතරව පෑන් ඇමෙරිකානු ක්‍රීඩා උලෙළහී දී රන් 02 සහ ලෝකඩ පදක්කම බැගින් ඇය හිමිකර ගත්තාය. ඒ තුන් පිම්ම සහ දුර පැනීමටයි.
දකුණු ඇමෙරිකානු කලාපයේ රටවල් කිහිපයක් සහභාගි වන විශේෂිත ක්‍රීඩා උලෙළක් පැවැත්වෙයි. එය හැඳින්වෙන්නේ බොලිවාරියන් ක්‍රීඩා උලෙළ ලෙසටයි. ඊට බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමාව, පීරු, චිලී සහ වෙනිසියුලාව සහභාගි වේ.
මෙම ක්‍රීඩා උලෙළහීදීත් කැටරින් විශිෂ්ට දස්කම් රැසක් ම දක්වා තිබේ. ඒ රන් පදක්කම් 05 සහ රිදී පදක්කම් 02 ක් හිමිකරගෙනයි. ඒ තුන් පිම්ම, දුර පැනීම සහ උස පැනීමටයි.
මේ වන විට කැටරින්ගේ අවධානය යොමු වී තිබෙන්නේ කාන්තා තුන් පිම්මේ ලෝක වාර්තාව දෙසටයි. එහි දුර ප්‍රමාණය මීටර් 15.50 කි. එය 1995 වසරේ දී පිහිටු වූයේ යුක්රේනයේ ඉනේසා ක්‍රාවෙට්ස් (උපත 1966 ඔක්තෝබර් 05) විසිනි.
එය කැටරින්ට සතු කර ගැනීමට හැකියාව ලැබුණත් නොලැබුණත් ඇය කොලොම්බියාව බිහි කළ සුපිරිතම ක්‍රීඩිකාව බවට දැනටමත් පත් වී අවසන්ය. එය එරට විසින් ද පිළිගෙන හමාරයි. එනම් ඕ.ඩී.බී. හෙවත් ඕඩර් ඔෆ් බොයාකා නමැති එරටේ උසස්ම සම්මානය ඇයට පිරිනැමීමෙනි.
එමෙන්ම මෙම වසරේ ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගත් ප්‍රථම දකුණු ඇමෙරිකානු ක්‍රීඩිකාවත් ඇය වේ.
ඊලියුඩ් කිප්චෝගේ (කෙන්යාව)
1984 නොවැම්බර් මස 05 වැනිදා උපත ලැබීය. ඒ කෙන්යාවේ නාන්ඩි දිස්ත්‍රික්කයේ කැප්සිසියුවා ග්‍රාමයේය. හෙතෙම අඩි 5 අඟල් 5 ක් උසැතිය. මීටර් 5000 සහ මැරතන් ඔහුගේ තරග ඉසව්වන්ය.
මෙම වසරේ දී ඔහුගේ විශිෂ්ටතම දස්කම වූයේ පිරිමි මැරතන් තරගයට නව ලෝක වාර්තාවක් පිහිටුවීමයි. ඒ ජර්මනියේ බර්ලින් මැරතන් තරගයේ දී පැය 2 විනාඩි 01 තත්පර 39 කි.
ඊට පෙර පැවැති ලෝක වාර්තාවේ හිමිකරුවා වූයේත් කෙන්යානු ජාතිකයෙක් වූ ඩෙනිස් කිමෙටෝය. ඔහු (උපත 1984 ජනවාරි 22) ඉහත බර්ලින් මැරතන් 2014 වසරේ පැවැති තරගයේ දී පැය 2 විනාඩි 02 තත්පර 57 ක කාලයක් වාර්තා කිරීමයි.
ඒ අනුව පැරණි ලෝක වාර්තාව විනාඩි 01 තත්පර 18 කින් පමණ කාලයකින් අඩු කිරීමට කිප්චෝගේට හැකිවිය. 1967 වසරෙන් පසුව පිරිමි මැරතන් තරගයක වඩාත් වර්ධිත ම ලෝක වාර්තාව මෙය වේ.
1967 වසරේ දී ඔස්ට්‍රේලියාවේ ඩෙරෙක් ක්ලේටන් (උපත 1942 නොවැම්බර් 17) මැරතන් තරගයක් ජය ගත්තේ පෙර පැවැති ලෝක වාර්තාව විනාඩි 2 තත්පර 23 කින් අඩු කරමිනි.
“ඇත්තම කියනවා නම් මෙවර වසරේ මලල ක්‍රීඩකයා සම්මානය මට හුඟාක් වටිනවා.” කිප්චෝගේ පවසයි. මේ වසරේ දී එක්සත් ජාතීන්ගේ වසරේ කෙන්යානුවා නමැති විශේෂ සම්මානයකින් ද හෙතෙම පිදුම් ලැබුවේ ය.
මෙවර බර්ලින් මැරතන් තරගයේ මුල් ස්ථාන 3 ම හිමිකර ගත්තේ කෙන්යානුවන්ය. එහි දී දෙවැනි එමොස් කිප්රුටෝ (පැය 2 විනාඩි 06 තත්පර 23) සහ තෙවැනි විල්සන් කිප්සැන්ග් (පැය 2:06:48) හටය.
මේ වන විට කිප්චෝගේ ජාත්‍යන්තර ප්‍රධාන මැරතන් තරග 12 කට ඉදිරිපත් වී ජයග්‍රහණ 11 ක්ම හිමිකර ගැනීමට සමත් වී තිබේ. ජය ෙනාගත් තරගයේ දී ඔහු දෙවැනියා වූයේය. ඒ 2013 බර්ලින් මැරතන් තරගයේදීය. එම තරගය එවකට නව ලෝක වාර්තාවක් (පැය 2 විනාඩි 03 තත්පර 23) වාර්තා කරමින් ජය ගත්තේ කෙන්යාවේ විල්සන් කිප්සැන්ග් කිප්රොටිච් (උපත 1982 මාර්තු 15) විසිනි. එහි දී කිප්චෝගේ කාලය පැය 2 විනාඩි 04 තත්පර 05 කි.
බොහෝ ක්‍රීඩා විචාරකයන්ට අනුව මෑත යුගයේ මැදි හා දිගු දුර ඉසව්වල දී ලොව සිටිය විශිෂ්ටතමයා කිප්චෝගේ බවයි. හෙතෙම මීටර් 1500, මීටර් 3000, මීටර් 5000, මීටර් 10, 000, සැතපුම, සැතපුම් 02, කිලෝමීටර් 10 මාර්ග, කිලෝමීටර් 30, අර්ධ මැරතන් සහ මැරතන් තරග රැසක් ම ජයගෙන තිබේ.
වාර්ෂිකව ලොව ප්‍රධානතම මැරතන් තරග 06 ක් පැවැත්වේ. ඒ ජපානයේ ටෝකියෝ, ඇමෙරිකාවේ බොස්ටන්, චිකාගෝ, නිව්යෝර්ක් සිටි, එංගලන්තයේ ලන්ඩන් සහ ජර්මනියේ බර්ලින්ය. බර්ලින්, චිකාගෝ සහ ලන්ඩන් මැරතන් කිප්චෝගේ ජය ගැනීමට සමත් වී සිටියි.
සමස්තයක් ලෙසට ගත් විට ප්‍රධානතම මැරතන් තරගවල දී ඔහුට රන් පදක්කම් 07 කි. ඒ 2014 චිකාගෝ, 2015, 16, 18 - ලන්ඩන්, 2015, 17, 18 බර්ලින්ය. 2013 බර්ලින් නුවර දී රි දී පදක්කමකි.
ඊලියුඩ් කිප් චෝ ගේ මේ වන විට ඔලිම්පික්, ලෝක ශූරතා, ලෝක රට හරහා, ලෝක ගෘහස්ථ, පොදු රාජ්‍ය මණ්ඩල සහ ලෝක ප්‍රධාන මැරතන් තරගවල දී හිමිකර ගෙන තිබෙන මුළු පදක්කම් ගණන 16 කි.
ඔලිම්පික් පදක්කම් මෙසේය. 2016 රියෝ මැරතන් (රන්), 2008 චීනයේ බෙයිජිං - මීටර් 5000 (රිදී) සහ 2004 ග්‍රීසියේ ඇතැන්ස් - මීටර් 5000 (ලෝකඩ)
ලෝක ශූරතාවලියන්හී දී පදක්කම් දෙකකි. ඒ මීටර් 5000 ඉසව්වෙනි. ඒ 2003 ප්‍රංසයේ පැරිස් - රන් සහ 2007 ජපානයේ ඔසාකා - රිදීය.
2003 වසරේ ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ලෝක රට හරහා දිවීමේ ශූරතාවලියේ බාලක තරගය ජය ගත්තේ කිප්චෝගේම ය. එමෙන්ම 2006 වසරේ රුසියාවේ මොස්කව් නුවර පැවැති ලෝක ගෘහස්ථ ශූරතාවලියේ මීටර් 3000 ලෝකඩ පදක්කමත් හෙතෙම දිනා ගත්තේය.
එමෙන්ම 2010 ඉන්දියාවේ දිල්ලි නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ මීටර් 5000 තරග ඉසව්වට ඔහු රිදී පදක්කමක් ද හිමිකර ගන්නා ලදි.
ඊලියුඩ් කිප්චෝගේත් දුෂ්කර ගමනකින් පසුව ජීවිතය ජය ගත් දිරියවන්තයෙකි. ඔහු දරුවන් සිවුදෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයාය. මෙම පවුල රැකබලා ගත්තේ ගුරුවරියක් වූ මව විසින් තනිවමයි. මේ දරුවන් ඔවුන්ගේ පියා දැක තිබුණේ ඡායාරූප තුළින් පමණකි. කිප්චෝගේ බිරියත් දරුවන් තිදෙනාත් සමඟ ජීවත් වෙති.
බොහෝ විශිෂ්ට අප්‍රිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාසල් දිවියේ දී දිනපතාම පාසලට දිවීම සාමාන්‍ය සිදුවීමකි. එය අනාගතයේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමේ ආරම්භයයි. කිප්චෝගේත් එවැනි ක්‍රීඩකයෙක් විය. හෙතෙම දිනපතාම සැතපුම් දෙකක දුරකින් පිහිටි සිය පාසලට දිව්වේය.
ඔහුගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වයට බලපෑ තවත් සාධකයක් සිටියි. ඒ පුහුණුකරු වන පැට්රික් සැන්ග් ය. කිප්චෝගේ 16 හැවිරිදි වියේ දී ඔහුට පැට්රික් හමු විය. පැට්රික් (උපත 1964 අප්‍රේල් 11) හිටපු කෙන්යානු මලල ක්‍රීඩා ශූරයෙකි. හෙතෙම 1992 ඔලිම්පික් රිදී සහ 1991 / 93 ලෝක ශූරතාවලි ද්විත්ව රිදී පදක්කම් හිමිකර ගත්තේ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙනි.
වසරේ මලල ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත් දෙවැනි කෙන්යානුවාත් කිප්චෝගේ වේ. එහි ප්‍රථමයා මීටර් 800 ශූරයෙක් වන ඩේවිඩ් රුඩිෂාය. හෙතෙම (උපත 1988 දෙසැම්බර් 17) මේ සම්මානය 2010 දී හිමිකර ගත්තේය.










