සිංහයෝ සීතල උඳුවප් මහ උණුසුම් කරයිද? | සිළුමිණ

සිංහයෝ සීතල උඳුවප් මහ උණුසුම් කරයිද?

තවත් අභියෝගාත්මක තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නවසීලන්තය හෙවත් කිවි දේශයට මේ වන විට ගොස් සිටියි. මෙම සංචාරයේ පළමු ටෙස්ට් තරගය ඊයේ (15) ආරම්භ විය.

මේ සංචාරයට ටෙස්ට් තරග 02, එක්දින අන්්තර්ජාතික තරග 03 ක් සහ 20 – 20 අන්්තර්ජාතික තරගයක් අයත් ය.

මීට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණු ද්විත්වයක් තිබේ. ඒ ගෙවී යන වසර සුබවාදීව නිමා කිරීමයි. එමෙන් ම 2019 නව වසර සුබවාදීව ඇරඹීමයි. එසේ වුවත් එය කිසිසේත්ම පහසු කාර්යයක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොඳින්ම දනිති. ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්ත සංචාරයක නිරත වූයේ 2015 වසරේදීය.

එම සංචාරයට තිලකරත්න ඩිල්ෂාන් සහ රංගන හේරත් වැනි ශ්‍රී ලංකා සුපිරි තරු ගියහ.

එහෙත් ටෙස්ට් 2 – 0, එක්දින අන්්තර්ජාතික 3 -1, සහ 20 – 20 අන්්තර්ජාතික 2 – 0 ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරයට එක් වන්නේ පරාජයේ අමිහිරි අත්දැකීම් රැසක් සමඟිනි. ඒ එංගලන්තය හමුවේ ටෙස්ට් 3 – 0, එක්දින අන්්තර්ජාතික 3 – 1 සහ 20 – 20 තරගයක් පරාජය වීම නිසා ය. මෙම තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.

නවසීලන්තය මීට දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමිර් රාජ්‍ය සංචාරය නිමා කළේ පාකිස්තානය සමඟ තරග කරමිනි. එහි දී ටෙස්ට් තරගමාලාව නවසීලන්තය 2 – 1 කින් ජය ගත්තේ ය. එක් දින තරගමාලාව 1 – 1 කි. 20 – 20 තරගමාලාව 3 – 0 කින් පාකිස්තානය ජය ගත්තේ ය.

මෙහි දී ටෙස්ට් තරගමාලා ජය නවසීලන්තයට සුවි‍ශේෂිතය. ඒ ඔවුන් පාකිස්තානයට එරෙහිව මීට පෙර අවසන් වරට ටෙස්ට් තරගමාලාවක් විදේශයක දී ජයගෙන තිබුණේ මීට වසර 49 කට පෙර වීම නිසා ය. 1969 වසරේ දී පාකිස්තානයේ දී ඔවුන් එසේ ටෙස්ට් තරගමාලාවක් 1 – 0 කින් ජයගෙන තිබුණාහ.

පැහැදිලිව ම මේ වනවිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. එසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාව ගැන කිසිවකුටවත් ගැටලුවක් නැත. එහෙත් ‍එම හැකියාවන්ට ඔවුන් සාධාරණත්වය මීට වඩා ඉටු කළ යුතු ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයට නවසීලන්තය කිසි දිනෙක අමතක කළ නොහැකියි. ඒ ශ්‍රී ලංකාව විදේශයක දී ප්‍රථම වරට ටෙස්ට් තරගයක් සහ තරගමාලා ජයක් ලැබුවේ එ‍රටේ දී බැවිනි‍. අර්ජුන රණතුංගගේ විශිෂ්ට නායකත්වය මත 1995 වසරේ දී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගමාලාව ශ්‍රී ලංකාව ජය ගත්තේ 1 – 0 කින් ය.‍

ටෙස්ට්

ටෙස්ට් තරගවල දී නවසීලන්තය 28 හැවිරිදි කේන් විලියම්සන් සහ ශ්‍රී ලංකාව 29 හැවිරිදි දිනේෂ් චන්දිමාල් විසින් ද නායකත්වය දරනු ලබති.

අසන්ත ද මැල්ගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුව විසින් තෝරා ගත් ප්‍රථම කණ්ඩායමත් මෙය වේ. පසුගිය කාලයේ දී විවිධ හේතු නිසා ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටියේ නැති ක්‍රීඩකයන් තිදෙනෙක්ම මෙම සංචාරයට කැඳවනු ලැබ තිබේ. ඒ වමත් පිතිකරු 29 හැවිරිදි ළහිරු තිරිමාන්න, දකුණත් පිතිකරු 23 හැවිරිදි සදීර සමරවික්‍රම සහ දකුණතින් මද වේග පන්දු යවන 32 හැවිරිදි නුවන් ප්‍රදීප් ය.‍ මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට දිමුත් කරුණාරත්න පත් කර ඇත.

මේ අතර පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා පරාජයන්ට බෙහෙවින් ම අතිශය දුර්වල පන්දු රැකීමත් බලපෑවේ ය. එය නිමා කිරීමේ අරමුණින් ප්‍රකට පුහුණුකරුවෙක් වන ස්ටීව් රික්සන්ගේ (උපත 1954 පෙබරවාරි 25) සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. මෙම නවසීලන්ත සංචාරය තුළ සිට ඔහු ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දෙනු ඇත‍. රික්සන් 1977 – 85 දක්වා ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 13 සහ එක්දින ජාත්‍යන්තර තරග 06 කට ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), දුෂ්මන්ත චමීර, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, රො‍ෂේන් සිල්වා, ළහිරු කුමාර‍.‍

නවසීලන්ත සංචිතය

කේන් විලියම්සන් (නායක), ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රොන්ඩ්හොම්, මැට් හෙන්රි, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස්, අජාස් පටෙල්, ජීට් රාවල්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර්, බ්‍රැඩ්ලි ජෝන් වොට්ලිං, විල් යංග්.

මේ අතරින් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ම උපත ලබා තිබෙන්නේ විදෙස් රටවල දී වීම විශේෂත්වයකි. ඒ ග්‍රොන්ඩ්හොම් සිම්බාබ්වේ, පටෙල් සහ රාවල් ඉන්දියාව මෙන් ම වොට්ලිං දකුණු අප්‍රිකාවේ දී ය.

වාර්තා

1983 – 2015 අතර දෙරට අතර මුළු ටෙස්ට් තරග 32 කි. නවසීලන්තයට ජය 14 කි. ශ්‍රී ලංකාවට ජය 08 කි. ජය පැරදුමක් නැති තරග 10 කි.

තරගයක ඉනිමක වැඩිම ලකුණු

නවසීලන්තය 671 – 4 වෙලිංග්ටන් 1991

අඩුම ලකුණු

ශ්‍රී ලංකාව 93 වෙලිංග්ටන් 1983

වැඩිම මුළු ලකුණුලාභියා

ස්ටීවන් ෆ්ලෙමිං 1995 - 2006 තරග 13 ලකුණු 1166

ඉනිමක වැඩිම ලකුණුලාභියා

මාටින් ක්‍රෝ 299 වෙලිංග්ටන් 1991

වැඩිම ශතක

කුමාර සංගක්කාර 2003 – 15 තරග 12 ශතක 04

වැඩිම මුළු කඩුලුලාභියා

මුත්තයියා මුරලිදරන් 1992 – 2009 තරග 14 කඩුලු 82

වැඩිම මුළු දවාලීම් (කඩුලු රැකීම)

ඉයන් ස්මිත් 1984 – 91 තරග 07 දවාලීම් 27 (උඩ පන්දු)

ඉනිමක වැඩිම ලකුණු සබඳතාව

ඇන්ඩෘ ජෝන්ස් - මාටින් ක්‍රෝ තෙවැනි කඩුල්ලට ලකුණු 467 වෙලිංග්ටන් 1991 (මෙය එවකට ලෝක වාර්තාවකි.)

වැඩිම තරග

අර්ජුන රණතුංග 1984 - 1998 තරග 16

වැඩිම තරග නායකයෝ

අර්ජුන රණතුංග 1991 – 98 තරග 12 ජය 04 පරාජ 03 ජය පැරදුමක් නැති 05

එක්දින අන්තර්ජාතික තරග

දෙරට අතර 1979 සිට 2016 දක්වා පවත්වා තිබෙන මුළු තරග ගණන 95 කි. එහි දී නවසීලන්තයට ජයග්‍රහණ 45 කි. ශ්‍රී ලංකාවට ජය 41 කි. ලකුණු සමවීම් 01 කි. ජය පැරදුමක් නැති තරග 08 කි.

තරගයක වැඩිම ලකුණු

නවසීලන්තය 360 – 5 ඩනේඩින් 2015

අඩුම ලකුණු

නවසීලන්තය 73 ඕක්ලන්ඩ් 2007

වැඩිම මුළු ලකුණු ලාභියා

කුමාර සංගක්කාර 2001 – 15 තරග 47 ලකුණු 1568

තරගයක වැඩිම ලකුණුලාභියා

ලුක් රොන්කි නොදැවී 170 ඩනේඩින් 2015

වැඩිම ශතක

සනත් ජයසූරිය 1991 – 2009 තරග 47 ශතක 05

වැඩිම මුළු කඩුලුලාභියා

මුත්තයියා මුරලිදරන් 1994 – 2011 තරග 41 කඩුලු 74

වැඩිම මුළු දවාලීම් (කඩුලු රැකීම)‍

කුමාර සංගක්කාර 2001 – 15 තරග 47 දවාලීම් 52

(උඩපන්දු 43/ ස්ටම්ප් කිරීම් 09)

තරගයක වැඩිම ලකුණු සබඳතාව

ග්‍රාන්ට් එලියට් - ලුක් රොන්කි 06 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 267 ඩනේඩින් 2015

වැඩිම තරග

මහේල ජයවර්ධන 2001 – 15 තරග 50

වැඩිම තරග නායකයා

ස්ටීවන් ෆ්ලෙමිං 1997 – 07 තරග 26 ජය 06 පරාජ 19 ජය පැරදුමක් නැති 01

 

විස්සයි20 අන්තර්ජාතික තරග

 

2006 සිට 2016 අතර කාලයේ දී දෙරට අතර පැවැති මුළු තරග ගණන 15 කි. නවසීලන්තයට ජය 07 කි‍. ශ්‍රී ලංකාවට ජය 06 කි. ප්‍රතිඵලයක් නැති තරගයකි. ලකුණු සමවීම් තරගයකි. පසුව මෙහි ජයග්‍රාහකයා තේරීමේ දී ශ්‍රී ලංකාවට ජය අත්විය.

තරගයක වැඩිම ලකුණු‍

නවසීලන්තය 182 – 4 මවුන්ට් මවුන්ගානුයි 2016

අඩුම ලකුණු

නවසීලන්තය 60 චිතගොං (බංග්ලාදේශය) 2014

වැඩිම මුළු ලකුණුලාභියා

තිලකරත්න ඩිල්ෂාන් 2006 – 16 තරග 14 ලකුණු 324

වැඩිම මුළු කඩුලුලාභියා

අජන්ත මෙන්ඩිස් 2009 – 13 තරග 08 කඩුලු 12

තරගයක හොඳම පන්දු යැවීම

රංගන හේරත් ලකුණු 03 ට කඩුලු 5 චිතගොං 2014

වැඩිම මුළු දවාලීම් (කඩුලු රැකීම)

කුමාර සංගක්කාර 2006 – 14 තරග 13 දවාලීම් 08

(උඩපන්දු 5/ ස්ටම්ප් කිරීම් 03)

තරගයක වැඩිම ලකුණු සබඳතාව

මාටින් ගප්ටිල් - කේන් විලියම්සන් පළමු කඩුල්ලට ලකුණු 101 මවුන්ට් මවුන්ගානුයි 2016

වැඩිම තරග

තිලකරත්න ඩිල්ෂාන් 2006 – 16 තරග 14

වැඩිම තරග නායකයා

ඩැනියෙල් විටෝරි 2007 – 10 තරග 07 ජය 04 පරාජ 03

-------------------------------

අකිලට තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති වි‍රෝධී බව ස්වාධීන පරීක්ෂණයක් මඟින් තීන්දු කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි‍.සී.සී.) විසින් නිවේදනය කර තිබේ.
එම නිසා අන්තර්ජාතික තරගවල දී ඔහුට පන්දු යැවීම තහනම් කර ඇත‍. සැකසහිත නීති විරෝධී පන්දු යැවීමේ විලාසයන් වාර්තා වන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පවතින අයි.සී.සී. නීතිවල 11.1 වගන්තියට අනුව අකිලගේ අන්තර්ජාතික තහනම ක්‍රියාත්මක වේ.


මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහය යටතේ පැවැත්වෙන දේශීය තරගවල දී පමණක් ඔහුට පන්දු යැවීමට අවස්ථාව ලැබෙයි.

------------------------

තරග සටහන

ටෙස්ට්

පළමු තරගය (දෙසැම්බර් 15 – 19) බේසින් රිසර්ව් ක්‍රීඩාංගණය වෙලිංග්ටන් (පෙරවරු 3.30 සිට)‍
දෙවන තරගය (දෙසැම්බර් 26 – 30) හැග්ලි ඕවල් ක්‍රීඩාංගණය ක්‍රයිස්ට්චර්ච් (පෙරවරු 3.30 සිට)

එක්දින අන්තර්ජාතික තරග

පළමු තරගය (2019 ජනවාරි 03) බේ ඕවල් ක්‍රීඩාංගණය මවුන්ට් මවුන්ගානුයි (දිවා/ රාත්‍රී) පෙ.ව. 6.30
දෙවන තරගය (ජනවාරි 05) බේ ඕවල් ක්‍රීඩාංගණය මවුන්ට් මවුන්ගානුයි (දිවා/රාත්‍රී) පෙ.ව. 6.30
තෙවන තරගය (ජනවාරි 08) සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණය නෙල්සන් - පෙ.ව. 3.30

විස්සයි20 අන්තර්ජාතික තරග

එකම තරගය (ජනවාරි 11) ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණය ඕක්ලන්ඩ් (රාත්‍රී) - පෙ.ව. 11.30 (ශ්‍රී ලංකා වේලාව)

Comments