ජාතික වොලිබෝල් අවසන් මහා තරග අද මහරගමදී | සිළුමිණ

ජාතික වොලිබෝල් අවසන් මහා තරග අද මහරගමදී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන 2018 ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග අද පෙරවරු 9.00සිට ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්‍ව‍යෙන් පැවැත්වෙයි.

වසර 10 ක් අඛන්ඩව ජාතික වොලිබෝල් තරගාවලියට සිලෝන් බිස්කට් සමාගම අන්‍රග්‍රාහකත්වය පිරිනමා ඇති අතර මන්චි වෙළෙඳ නාමයෙන් ජාතික තරගාවලිය වඩාත් අර්ථවත්ව ඇත. ඒ අනුව 11 වැනි වසරටත් මන්චි වෙළෙඳ නාමය පෙරදැරීව තරගාවලිය සංවිධානය වි ඇත. 2018 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ කාන්තා හා පිරිමි වශයෙන් තරග පැවැත් වු අතර සමස්ත තරගාවලියට තරගකරුවන් 2500 – 3000ක් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කළේය. පසුගිය ඔක්තෝබර් 01 වැනි දා ආරම්භ වු මුලික වට‍යේ තරග දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් ගම්පහ, පුත්තලම, මාදම්පේ, රුවන්වැල්ල හා හොරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කොට ගෙන අවසන් විය.

අවසන් මහා තරග පැවත් වෙන අද දිනයේ රතනපාල ක්‍රීඩා සමාජය - මහඋස්වැව සහ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය අතර පැවැත් වෙන ආධුනික කාන්තා තරගය අද පෙරවරු 9.00ට ආරම්භ විමට නියමිතය. පෙරවරු 11.00ට ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය කුරුණෑගල සහ යුනයිටඩ් ක්‍රීඩා සමාජය නාත්තන්ඩිය අතර අාධුනික පිරිමි තරගය පැවැත් විමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර සූපර් ලීග් කාන්තා තරගය පස්වරු 1.00ට පැවත් වීමට නියමිත අතර සුපර් ලීග් පිරිමි තරගය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර පස්වරු 3.00ට පැවැත් වීමට නියමිතය.

2016වසරේ ශූරයන් ලෙස මන්චි ජාතික වොලිබෝල් පිරිමි ශූරතාවය දිනාගත් වරාය අධිකාරී කණ්ඩායමට හෝ කාන්තා ශූරතාවය දිනාගත් මාස් කැෂුවලයින් කණ්ඩායමට 2017 වසරේ දී අවසන් මහා තරගය අහිමි විය. 2017 වසරේ දී මන්චි ජාතික වොලි‍‍‍බෝල් පිරිමි ශූරතාවය ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිනාගත් අතර කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් දිනාගත්තේය.

2017 වසරේ පිරමි ආධුනික ශූරීයෝ ලෙස ගලිගමුව බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර පිරිමි ආධුනික ශූරතාවය ගාල්ල එච්. එල්. ඒ. ඕ.සී. කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.

2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දීප්ති රෝමේෂ් සම්මානයට පාත්‍ර වු අතර අති ශූර ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ දිනේෂා ප්‍රසාදිනී සම්මානයට පාත්‍ර විය.

වසරින් වසර ඉතාමත් තියුණු තරගකාරී තරගාවලියක් ලෙස මන්චි ජාතික වොලිබෝල් ශූරතාවය පෙරමගට පිවිස ඇති අතර පසුගියදා ආසියානු වොලිබෝල් තරගාවලියේදීද කැපීපෙනෙන දක්ෂතාවයන් දැක්වීමට ජාතික වොලිබෝල් ක්‍රීඩකයන් සමත් විය.

අද පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් තරග රුපවාහිනි ඔස්සේ සජීවීව විකාශණය කිරීමට ශ්‍රී ලංකා ජාතික වොලි බෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

Comments