ක්‍රීඩාව දියුණු කරන්න හමුදා සහාය ගත යුතුය | සිළුමිණ

ක්‍රීඩාව දියුණු කරන්න හමුදා සහාය ගත යුතුය

අපේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා බොහෝ ක්‍රීඩා මවු සංගම්වලින් සිදුවන සෙතක් නැත. මේ වන විට ක්‍රීඩා සංගම් හා සම්මේලන 62 ක් ක්‍රීඩා අමාත්‍යාංශය ය‍ටතේ ලියා පදිංචි වී තිබේ. දැන් කඹ ඇදීමටද අපට ජාතික සංගමයක් තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙලට යවා තිබුණු ඇතැම් ක්‍රීඩා සඳහා එක්ව සිටි ජාතික මට්ටමේවත් කිව නොහැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන් කැටුව ගොස් සිටි නිලධාරීන් දුටු මාධ්‍යවේදීන් අතර කතාබහට ලක්වුයේ හෙට අනින්දා ඇට බෝල, ජිල්බෝල සඳහාත් ජාතික සංගමයක් බිහි වුණොත් පුදුමයට කරුණක් නොවන බවයි.

එක් ක්‍රීඩාවක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙක් තමන් සහභාගී වු ඉසව්වේ හරි අඩක්වත් නිම කිරිමට ද අසමත් වුහ. ඉන් දෙතුන් දෙනකුම 14 හැවිරිදි හා 16 හැවිරිදි වියේ පසු වන්නන් වීමද විශේෂත්වයකි. මෙවැනි සංගම් තිබිය දී ආබාධිතයන්ගේ ක්‍රීඩා සංගමය වැනි විශිෂ්ට සේවාවක් ඉටු කරන සංගම්වලට වැඩි අවධානයක් හා සහයෝගයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලැබිය යුතු වුවත් තවමත් ඔවුන්ට එවන් පිළිගැනීමක් නොමැති වීම කනගාටුවට කරුණකි.

මෙම බොහෝ සංගම් හා සම්මේලනවලට වඩා අද ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බොහෝ සෙයින් උපකාර කරති. විශේෂයෙන් යුද හමුදාව නිසා පන්නරය හා ජවය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එමටය. මෙතෙක් ශ්‍රී ලංකාව දිනා ඇති ඔලිම්පික් පදක්කම් දෙකේම හිමි කරුවෝ යුද හමුදාවේ සාමාජිකයන්ව සිට එම පදක්කම් දිනුවෝ වෙති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හා එක් දින කණ්ඩායම්වලට ද යුද හමුදාවෙන් එක් වුවෝ බොහෝය. අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න මෑත යුගයේ එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වුවෝ වෙති. ඔවුන් අදටත් සේවය කරන්නේ යුද හමුදාවේය.

මලල ක්‍රීඩාවේද ජාතික තලයේ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් අද හමුදාවලට අනුයුත්තව තම පුහුණු කටයුතු සිදු කිරීමද විශේෂත්වයකි. ස්කොෂ් වැනි ක්‍රීඩාවල හමුදා පරිශ්‍ර තුළ පහසුකම් සහිත පිටි සකස් කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාංගණද කිහිපයක්ම යුද හමුදා, නාවුක හමුදා හා ගුවන් හමුදා පරිශ්‍ර තුළ ඉදිකර ඇත.

මේ අතරට ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බළකා මූලස්ථානය පිහිටා ඇති හොරණ දොඹේගොඩ අන්තර්ජාතික මට්ටමට ළඟා විය හැකි අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිවෙමින් පවතින අතර එහි මුල් අදියර අවසන් කොට පසුගිය දා යුද හමුදාපති විසින් විවෘත කරන්නට යෙදිණි.

එහි මුල් අදියර සඳහා යුද හමුදා යුද්ධෝපකරණ බළකාය විසින්ම විවිධ ඉසව් සංවිධානය කර ඉපයු මුදලින් රුපියල් මිලියන 50 ක් පමණ වියදම් කර ඇති අතර එය ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් ඉදි කළේ නම් ඒ සඳහා මිලියන 500ක් වත් නියත වශයෙන්ම වියදම් කරනු ඇත. මේ සඳහා තම කාලය හා ශ්‍රමය කැපකළ එම බළකායේ ප්‍රධානී මේජර් ජනරාල් බිමල් විදානගේ වැන්නන් අද ක්‍රීඩා ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වී තිබේ.

ක්‍රීඩාවක උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගත යුතුය. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. පහසුකම් ලබා දිය යුතුය. විනයවත් කළ යුතුය. හමුදා ආශ්‍රිතව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද මේ සියලු දේ සැපයේ. ඒ නිසා හමුදා තුළ ක්‍රීඩාව නංවාලීමට උද වු උපකාරී වන ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇගයීමට ලක් කළ යුතුය.

අද ක්‍රීඩාවේ පමණක් නොව රටේද විනය බරපතළ ලෙස පිරිහෙමින් පවතී. මෙවන් පසුබිමක පාසල් මට්ටමේ සිට හමුදා පරිශ්‍ර ආශ්‍රීතව ජාතික මට්ටමට ළඟා වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය වන්නේ එමඟින් ඔවුන‍්ගේ විනයද ඔප මට්ටම් වන නිසාය.

ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජාතික ඔලිම්පික් කමිටුවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය හා පාසල් ක්‍රිකට් සංගමයත් අනෙකුත් ක්‍රීඩා සංගම් හා සම්මේලනත් ඒකාබද්ධ හා සහ‍යෝගිතා වැඩ පිළිවෙළක් පුළුල් මට්ටමෙන් සකස් කරන්නේ නම් අපේ රටේ ක්‍රීඩාව මීට වඩා උසස් මට්ටමකට ගෙන යා හැකි බවට සැකයක් නොමැත. මේ සඳහා රජය මැදිහත්ව ජාතික තලයේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුව ඇත.

Comments