
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට උදා වෙන්නේ කාර්යයබහුල කාල වකවානුවකි. හ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර, මේ තරගාවලිය අවසානයේ ඔස්ට්‍රේලියාවේ සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට ද නියමිතය. මේ තරගාවලි සියල්ල අවසානයේ එළඹෙන්නේ 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. දැනට නිසි බලධාරියකු යටතේ දිවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ද ඉදිරියේ පැවැත්වීමට නියමිතය. කවුරු කවුරුත් ලහි ලහියේම ඒ සඳහා නිලවරණ පොර පිටිය උණුසුම් කරනු ඇත.
මේ සියලු දෑ අතර අසන්නට ලැබෙන්නේ සුබදායක නොවන පුවත්ය. අකිල ධනංජයට සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි කර ගෙන නැවත ICCය ඉදිරියේ පරීක්ෂණයකට මුහුණදෙනතෙක් තරග තහනමක් පනවා තිබේ. නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර පැවැති පුහුණු තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ලකුණු අතරට පිවිසීමට සමත්ව තිබේ. ඒ අතරකාලයකට පසුව ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම ද විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතිකයකුවන ස්ටිව් රික්සන් පත්කර තිබේ. ශ්‍රී ලංකාව නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරන්නේ එංගලන්තය හමුවේ මෙරටදීම අන්ත පරාජයකින් පසුවය. ආසියානු කුසලාන තරගාවලි පරාජය ද ඊට තදින්ම බලපෑවේය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පරාජයෙන් අනතුරුව නායකත්වයෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් එංගලන්ත කණ්ඩායමේ එක්දින සහ විස්සයි 20 සංචිතයෙන් ද ඉවතට විසි විය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගවල ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ලක්විය. පස්වරක් ආසියානු ශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ලත් පරාජයන් හමුවේ. දැඩි විවේචනයට ලක් විය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පරාජය සම්පූර්ණයෙන්ම තමන් පිට පටවමින් නායකත්වයෙන් ඉවත්වන ලෙසට කළ ඉල්ලීම පිළිබඳ කනගාටුව පළ කරමින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියාට ආන්දෝලනාත්මක ලිපියක්ද යොමු කර තිබුණි. ශාරීරික යෝග්‍යතාව මුල් කර ගනිමින් එක්දින සහ විස්සයි 20 සංචිතයෙන් මැතිව්ස් ඉවත් කළ බව ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුට දැනුම් දී තිබූ අතර එහි දී හෙතෙම පෙරළා ප්‍රශ්න කළේ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවයි. නමුත් ඇන්ජලෝ ටෙස්ට් සංචිතයට ඇතුළත් විය.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැඩි පසුබෑම හමුවේ නායකයාට පමණක් නොව තේරීම් කමිටුවට ප්‍රධාන පුහුණුකරුටද වගකීමක් තිබෙන බව සියලුදෙනාගේ අදහස විය. මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස යෝජනා කරන්නට ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට නොහැකි බව ද බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වාට මැතිව්ස් යොමු කළ ලිපියේ පරාජයේ වගකීම තමන්ට පමණක් බාර ගැනීමට නොහැකි බව ද අවධාරණය කර තිබුණි.
මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳ ගැටලු මතු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරග තුනම පරාජයට පත් වූ අවස්ථාවේ දී ද මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳ ගැටලු මතුවිය. එහිදි ක්‍රීඩා ලෝලයන්ගේ පවා මතය වූයේ මැතිව්ස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා නොකිරීම සහ වගකීම් ඉටු නොකළ බවයි. නමුත් ඇතැම් මාධ්‍ය පවා වාර්තාකර තිබුණේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසු මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබූ බවයි.
ලබන වසරේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය දක්වා යන ගමනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ගෙන් ඉවත් නොකරන බව ප්‍රකාශකර පසුව එකී තීරණය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ මාවතට යොමු කර එහි බලපෑම් මඟින් මැතිව්ස්ව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාවට නැංවුවාදැයි තවත් බොහෝ පිරිසක් සැක පහළ කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු නොකළහොත් විශාල අවදානමකට මුහුණ පෑමට සිදුවන බව සනත් ජයසූරිය පවසා තිබේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලත් පරාජයෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබුණි. මේක හරිම වේදනාවක් අපේ ක්‍රිකට් ගැන ආඩම්බර වෙන්න බෑ. පරාජය වන විට ඒක පීඩනයක්. ඒත් ඒක ග්‍රහණය කර ගන්න ඕනෑ. මේ දවස්වල කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. පොඩි කණ්ඩායම් වේගයෙන් දියුණු වෙනවා. ඔවුන් අභියෝගයක්. අපි අංශ තුනෙන්ම පහළට ගිහින් තියෙනවා.
මේ අතර සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් එක් කරන මහේල ජයවර්ධන කුණු තැවැරුණු ඇඳුම් කවදාවත් ජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි මද්‍ය කාලීන සිදුවීම් පිළිබඳ සටහනක් තබමින් ප්‍රකාශ කරයි. හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්ද යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් සඳහන් කරයි.










