
උඩරට විසූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පරම්පරාවක් ලෙස නීලවල සිත්තර පරම්පරාව හඳුනාගත හැකි අතර, ඒ පරපුර මෙරට පදිංචි වී ඇත්තේ 14 - 15 සියවස්හිය. මේ ලිපිය ඒ සිත්තර පරපුරට අත් වූ ඉරණම පිළිබඳ කරුණු සොයා බැලීමකි.
කේ. උදේනි අරුණසිරි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර
කන්ද උඩරටින් ඇරඹී, රට අභ්‍යන්තරයට විහිදී ගොස්, දකුණු වෙරළබඩ තීරය ඔස්සේත් ව්‍යාප්ත කරන ලද විහාර චිත්‍ර සම්ප්‍රදායේ කර්තෘත්වය හිමි වන්නේ සිත්තර පරම්පරා කිහිපයකටය. මේ පිළිබඳ කරුණු විමර්ශනය කරන විට මුහුණ පෑමට සිදු න ගැටලු කිහිපයකි. ඉන් ප්‍රධාන ගැටලුව මේ යුගයේ චිත්‍ර ශිල්පීන් කිසිවකු තම නිර්මාණයන්හි සිය නාමය සඳහන් නොකිරීමය. එබඳු සිරිතක් හෝ පුරුද්දක් එම යුගයේ ශිල්පීන් තුළ නොපැවති බව පෙනේ. බොහෝවිට ශිල්පීන් උත්සාහ ගෙන ඇත්තේ තම නාමය සඳහන් කොට ප්‍රසිද්ධියක් ලබා ගැනීම නොව තම නිර්මාණ ඉදිකිරීමෙහි කාර්යය ඔහුට පැවරූ තැනැත්තාගේ මන දොළ සපුරාලීමය. තත්කාර්යය භාරදෙන තැනැත්තා පමණක් අදාළ කාර්යය නිම කළේ කවුරුන් විසින්දැයි යන්න හොඳින් දැන සිටීම ඔවුන්ට ප්‍රමාණවත් විය. මේ අනුග්‍රාහකයන් නිසා සැබෑ ශිල්පීන් සොයාගත නොහැකි සේ සැඟවී ගියේය.
එහෙත් එවැනි නිමවුමක් කළ ශිල්පීහු ඒවා දිගු කාලයක් තිස්සේ මහජන ප්‍රසාදයට ලක් වන අයුරු දැක තෘප්තිමත් වූහ. පාරම්පරික සිත්තරුන් පෞද්ගලික හේතූන් පදනම් කරගෙන සිය උපන් ගම් හැරදමා වෙනත් ප්‍රදේශවල පදිංචි වීමත්, ඉන් පසු එම ගමේ නමින් ඔවුන් හැඳින්වෙන්නට වීමත් නිසා ඔවුන්ගේ මුල් ගම් හෝ පරම්පරා පිළිබඳ තොරතුරු කාලයත් සමඟ වැළලී ගොස් තිබේ.
මේ පරම්පරාවලට සම්බන්ධකම් ඇත්තෝ අදත් ඒ ගම් ප්‍රදේශවල ජීවත් වුවත්, තමන් සතුව පවත්නා හෝ දන්නා හෝ තොරතුරු පවා හෙළි කිරීමට තබා තමන් යට කී සිත්තරුන්ගේ ඥාතීන් බව කීමට පවා මැළිකමක් දක්වති. වැඩි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් හෝ වෙනත් හේතු නිසා තම පාරම්පරික වෘත්තිය ඉවත දමා සිටින එබඳු පිරිස් කරුණු හෙළි නොකරන්නේ වර්තමානයේ ඔවුන් ලබා සිටින සමාජ තත්ත්වයට සිය සැබෑ කුල ගොත් හෙළිදරව් වීමෙන් හානි පැමිණෙතැයි බියෙන් බව මේ පිළිබඳ තොරතුරු සෙවූ විද්වතුන්ද සඳහන් කර තිබේ.
මේ නිසා කාලය අතින් එතරම් ඈත අවධියකට අයත් නොවුණ නමුත් මහනුවර සමයෙහිදී ඉදි කළ විහාරස්ථානවල චිත්‍ර අඳින ලද ශිල්පීන් ගැන පවා තොරතුරු සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත් විවිධ මූලාශ්‍රයගත තොරතුරු ඇසුරෙන් මෙන්ම සිතුවම් ලක්ෂණ තාක්ෂණය ආදියද ඉතා සියුම්ව පරීක්ෂාවට ලක් කිරීමෙන් සිත්තර පරම්පරාවක් ගොඩනගාගත හැකි වේ.
මානදූවට ගොඩබට අමුත්තා
උඩරට විසූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පරම්පරාවක් ලෙස නීලවල සිත්තර පරම්පරාව හඳුනාගත හැකි අතර ඒ පරපුර මෙරට පදිංචි වී ඇත්තේ 14 හෝ 15 වන සියවසේ සවන බුවනෙකබාහු රජු කොට්ටේ රාජ්‍ය කරන කාලයේදීය. මේ පරපුරේ ආගමනය පිළිබඳ පුළුල් විස්තරයක් ආනන්ද කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා කෘතියේදී ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ රජුගේ අවධියේදී දක්ෂ කාර්මිකයකු ඉන්දියාවෙන් පැමිණ මානදූව නම් ස්ථානයට ගොඩබට බැව් රජුට අසන්නට ලැබී තිබේ.
එහිදී එවැනි විශේෂඥයකු මෙරටට පැමිණි හෙයින් ඔහු ඇතු පිටින් රජවාසලට කැඳවාගෙනැවිත් ගෞරව කළ යුතු බව පවසා ඇත. රජු වඩුවාවල දේවසිංහ මූලාචාරී නයිදේ ඇතකු පිටින් එම ශිල්පියා වෙත යවා ඔහුව කැඳවාගෙන එන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව රජවාසලට පැමිණි එම ශිල්පියා ඉරහඳ බලන කණ්ණාඩියක්ද (ඉර හා හඳ දෙස බැලිය හැකි කණ්ණාඩියක්), පෑතැටියක්ද (වෙලාව දැනගත හැකි උපකරණයක්) රජතුමාට තෑගි කර ඇත. මෙයින් සතුටට පත් රජතුමා ඔහුට ජීවත් වීම සඳහා සතර කෝරළබද කිඳිගොඩ කෝරළේ මංගලම නම් ගම ප්‍රදානය කර තිබෙන අතර, එසේම “මණ්ඩල වල්ලී නයිදේ” නම් ගරු නාමයද ප්‍රදානය කර තිබේ.
නීලවල පරම්පරාව නායක්කාර්වරුන්ගෙන් ආරම්භ වූ බවට මතයක්ද ඇති අතර, දේවාල හා කෝවිල්වල සිත්තර නිර්මාණය ඔවුන් අතින් සිදු වන්නට ඇති බව අනුමාන කරනු ලැබේ. මේ අතරම විහාර කර්මාන්තයටද ඔවුන්ගේ බලපෑම් වූ බවට සාධක ලෙස ගඩලාදෙණිය විහාරය හඳුන්වා දෙන විද්වතුන් සඳහන් කරන්නේ එය සෑදීමට ගෝවෙන් ආචාරීන් පවුල් පිටින් පැමිණි බවයි. ඒ අනුව එම විහාරස්ථානය පිහිටි ග්‍රාමය “ගෝවින්දල්” නම් විය. මේ නිසා නුවර යුගයේ සිත්තම්වලට හා සිත්තර පරම්පරාවලට ඉන්දීය ආභාසයද ලැබී ඇති බවද කිව හැකිය.
මේ පරම්පරාවේ සිත්තරුන් විසින් චිත්‍ර නිර්මාණය කරන ලද විහාර පිළිබඳව මූලාශ්‍රයගත සාධක නැති අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ සිතුවම්හි විචිත්‍රත්වය පිළිබඳ විග්‍රහ කිරීමක් කළ නොහැකි වී තිබේ. මණ්ඩලවල්ලී නයිදේගේ මරණයෙන් පසු වීර පරාක්‍රමබාහු රජු මේ සිත්තර පවුල පිළිබඳ සොයා බැලීමක් කරන්නට විය. ඒ අනුව ඥාතීත්වයෙන් නැන්දා හා බෑනා වන අනාථ ළමයින් දෙදෙනකු සිටින බව හදුනාගත් රජු ඔවුන් රජවාසලට කැඳවා නවාතැන් සපයා තිබේ.
රාජ අනුග්‍රහය
ආනන්ද කුමාරස්වාමි මහතා දක්වන මේ අදහස අනුව එම සිත්තර පරපුරෙන් අනාථ ළමයින් දෙදෙනකු බිහි වීමටත් ඔවුන්ට පිළිසරණක් නැති වීමටත් හේතුව වූයේ එම පරපුර කුමන හෝ ව්‍යසනයකට මුහුණපෑම නිසාදැයි ගැටලුවක් මතු වේ. රාජ අනුග්‍රහය පවා ලැබූ පවුලක් වූ එම සිත්තර පවුලට මෙවන් තත්ත්වයක් අත් වූයේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.
මෙසේ රජවාසලේ ඇතිදැඩි වූ මේ දරුවන් වැඩිවියට පැමිණි පසු ඔවුන්ට විවාහ වීමට අවසර සලසා දී තිබේ. මෙහිදී එම තරුණියට “එතනා” යන ගරු නාමය දී මවු උරුමයෙන් හිමි වූ මංගල ගමද ප්‍රදානය කර තිබේ. ඉන් පසු ඇගේ දියණියටද ඒ ගම පාරම්පරිකව හිමිව තිබේ. මේ සිත්තර පරම්පරාවට අයත් සිත්තරුන්ගෙන් කොළඹ නයිදේ දෙවැනි රාජසිංහ රජුටත්, මද්දුම නයිදේ දෙවැනි විමලධර්මසූරිය රජුටත් සේවය කර තිබේ. එසේම නීලවල ලොකු නයිදේ සහ මංගල ගම හදු නයිදේද මේ පෙළපතින් පැවතෙන්නෝ වූහ. මංගලගම හදු නයිදේ රජුට රත්තරන් මිටක් සහිත කඩුවක් පරිත්‍යාග කළ හෙයින් ඔහුට ක්‍රිව 1644දී සන්නසක් ප්‍රදානය කර ඇත. එහි සඳහන් විස්තරය මෙසේය:
“ශ්‍රී ශක වර්ෂ එක්වා දහස් පන්සිය සැටසයක් වූ (ක්‍රිව 1644) වප් (සැප්තැම්බර්-ඔක්තෝබර්) මස අව සතවක ලත් සෙනසුරාදා දෙවා වදාළා වූ පනත නම් මංගල ගම බඩාල් හදු නයිදා කොකු රන් කඩුවක් රත්රන් ගාලා දක්වාලා මහ වාසලට ඇදහිලිවන්ත ලෙස සේවය කළ හෙයින් සතර කෝරළයේ බද මහ ගොඩින් මුල් බීජ සාමුනක වපසරියක් මීට අඩුත්තු ගේවතු ගහකොළ ගොඩවල්පිට ඇතුළු වූ දේත් මෙකුන්ගෙන් දරු මුණුබුරු පරම්පරාව පවතිනා තුරු මෙහි සැලැස්මට පවතින සැටියට මේ සන්නස දෙවා වදාළ පනතක් මෙසේම පණිවුඩ පනතයි.”
මේ පරම්පරාවේ තවත් දක්ෂතමයකු වූ (රාජසම්මානයට පාත්‍රව සිටි) “නීලවල රත්තවල්ලී නවරත්න ආභරණ” නැමැති ශිල්පාචාරිවරයා මංගලගම හඩු නයිදේගේ පරපුරේ “රූබර හාමි” නම් තැනැත්තිය සමග විවාහ වී ඇති බව ජයදේව තිලකසිරි මහතා සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු මංගලගම බින්න විවාහ ක්‍රමයට පදිංචි වී ඇති අතර, එම පරම්පරා දෙකේත් මංගලගම ග්‍රාමයේත් අවට පළාත්වලත් අභිවෘද්ධියට එය හේතු වී තිබේ. එසේම මාතලේ මාරුකොන සහ නීලවල පවුලක් අතර මේ ආකාරයට විවාහයක් සිදුව තිබේ. මේ ගම්වල ගැළපෙන පවුල් අතර තිබූ ඥාති සම්බන්ධකම් නිසා උඩරට පළාත්වල ශිල්පී පවුල් තමන්ට හිමි වූ කෙත්වතු ඇතුළු ගම්බිම් දියුණු කරමින් කලා-ශිල්ප නඟාසිටුවීමට උත්සාහ කළ බව පෙනී යයි. මේ පරපුරට අයත් ශිල්පීන් 15-16 වැනි සියවස්වල සිට ස්වකීය කාර්යභාරය අවශ්‍ය වූ පරිදි ඉටු කරමින් පැවති අතර, චිත්‍ර ඇඳීමේ අවශ්‍යතාව යටපත්ව පැවති අවධිවල ආභරණ තැනීම කැටයම් කිරීම ආදි සෙසු කර්මාන්තවල ඔවුන් නිරත වී ඇත.
උඩරට සිත්තර පරපුරේ ජනප්‍රිය පරම්පරා නාමයක් වන නීලවල පරපුරේ සිත්තරුන්ගේ විහාර සිතුවම් පිළිබඳ කිසිදු මූලාශ්‍රයකින් සාධක ලැබී නැත. මේ තත්ත්වය හා ඒ පරපුරේ හදිසි ව්‍යසනය (අනාථ දරුවන් බිහි වීමට බලපෑ හේතු) අතර යම් සබඳතාවක් තිබිය හැකි බවටද අනුමාන කළ හැකිය.