ශ්‍රියාලතා පාපැදියට කැප වී ගෙවන්නේ පාපයක් ද? | සිළුමිණ

ශ්‍රියාලතා පාපැදියට කැප වී ගෙවන්නේ පාපයක් ද?

කාලයක් තිස්සේ ම මෙරට ජනමාධ්‍ය යු:ඩි: ශ්‍රියාලතා පිළිබඳ කතාබහ කළේ, පාපැදියෙන් ඈ ලද ජයග්‍රහණ ගැන රටට කියන්නටය. මන්ද යත් ඒ ශ්‍රියාලතා ඉදිරිපත් වූ සෑම තරගයක් අවසානයේ ම සටහන් වූයේ ජයග්‍රහණයන් පමණක් වූ බැවිනි. මේ සෑම ජයග්‍රහණයක් පසු පසම වූයේ ශ්‍රියාලතාගේ දෙපයේ ශක්තිය විනා වෙන කිසි ම දෙයක් නොවේ. සිය දෙපයේ ශක්තියෙන් පාපැදිය සෙල්ලම් භාණ්ඩයක් කර ගත් ශ්‍රියාලතා අද සිය ජයග්‍රහණයන් දෙස ම බලාගෙන සුසුම් හෙළනා තත්ත්වයට පත්ව සිටින්නේ කොහේ හෝ ලොකු වරදක් සිදුවී ඇති බැවිනි. එකී වරද නිවැරැදි කරන්නට ලාංකික ක්‍රීඩා බලධාරින්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණ ද ඔවුන් අහක බැලීම නිසා අද රට වෙනුවෙන් දිනා දුන් ජයග්‍රහණයන් දෙස බලා ගෙන හඬා වැටෙන්නට ශ්‍රියාලතාට සිදුව තිබේ.

අනුරාධපුරය උපන් බිම කර ගත් ශ්‍රියාලතා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අකුරු කරන සමයේ 1994 දී පාසල් පාපැදි තරගයකට ඉදිරිපත් වී ඉන් ලබා ගත් පන්නරයෙන් සිය දිවිය පාපැදියට සින්න කළ ඇයට සාඩම්බර අතීතයක උරුමය අමතක කර දමා අද ජීවත්වීම සඳහා හඬා වැටෙන්නට සිදුවීම කියාපාන්නේ නවකයකුට ක්‍රීඩාව ගැන ඇති වන්නේ ආදරයක් ද? අනාදරයක් ද යන්න බලධාරින් සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණකි.

1994 සිට 2016 දක්වා පාපැදි තරග සිය ගණනකට ඉදිරිපත් වී ඉන් වැඩි හරියකම ජයග්‍රහණ සමඟ පදක්කම් ද ඇති තරම් දිනාගෙන ඇති ශ්‍රියාලතා අද ඒ සියල්ල දෙස බලමින් තමාට ම ශාප කර ගන්නා තැනට පත්ව සිටින්නේ ලාංකේය ක්‍රීඩාවේ නිරතවීම කරුමයක් බව සමාජයට පසක් කරමින්ය. මට හිතෙනවා මේ බයිසිකලයක් බදාගෙන මම අධ්‍යාපනය නැති කර ගත්තා කියලා. මේවා අතහැරලා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා නම් මම අද මෙහෙම අසරණ වෙන්නේ නෑ. ශ්‍රියාලතා මේ කරන ප්‍රකාශ තුළ ගම්‍ය වන්නේ ලාංකේය ක්‍රීඩාවේ (බොහෝ විට ක්‍රිකට් හැර) නිරත වීම, කැපවීම, පසුතැවිල්ලට හේතු බව නොවේද?

ශ්‍රියාලතා පැයට කිලෝ මීටර් 38 - 39 ක වේගයෙන් පාපැදිය හසුරුවා තබා අැති වේග සීමාවට මෙතෙක් කිසිවෙකුටවත් ලංවීමටවත් නොහැකි වී ඇති අතර, 2006 සිට ජාතික මහා ක්‍රීඩා උලෙළේ ලද ජයග්‍රහණ සංඛ්‍යාව අටකි. ඉන් හතක් ම ඈ ඉදිරියේ සටහන්ව ඇත්තේ අඛණ්ඩව ලත් ජයග්‍රහණ ලෙසය.

ශ්‍රියාලතාගේ මව ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස මල් විකුණා උපයා ගත් සොච්චමින් වැඩි කොටසක් මේ ජයග්‍රහණ සිහිනයන්ට වෙන් කළ අතර, එකී කැප කිරීම් අපතේ නොගිය නමුත්, අද ජීවිතය සරි කර ගන්නට මඟක් නැතුව පාසල් බෑග් මසමින් දිවි ගෙවන සිය දියණියගේ අන්ත අසරණභාවයට පිහිට වන්නට අදත් ඇයට සිදුවී තිබීම කනගාටුදායකය. අද ශ්‍රියාලතාට තමා ලද ජයග්‍රහණයන්ට හිමි වූ පදක්කම්, කුසලාන සහ සහතික පත් දකින විට ඇති වන දුක වැඩි බව නොරහසකි.

ශ්‍රියාලතා මේ සියලු පදක්කම්, කුසලාන, සහතිකපත් වළදමා හෝ ගිනිතබා ජයග්‍රාහී එකි යටගියාව අමතක කරන්න උත්සහ කළේ වරක් දෙවරක් නොවේ. එවිට මේ සියලු ජයග්‍රහණයන්හි මතක අමතක කර දමන්නට හැකි වනු ඇතැයි ශ්‍රියාලතා සිතුවා විය හැකිය. එහෙත් ඇගේ මව ජයශ්‍රී මහා බෝධිය අබියස මලින් මල විකුණා රැස් කළ මුදලින් ශ්‍රියාලතාට එදා හැකි පමණින් සවියක් වූයේ එකී සියලු ජයග්‍රහණ වළ දමන්නට හෝ ගිනි තබන්නටද?

අද අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව හැර අනෙක් ඕනෑම ක්‍රීඩාවක නිරත වීම අතින් කා හරක් බැලීමක් වැනි වැඩකට දෙවැනි නැත. ක්‍රීඩාවන්ට කැපවන කල වෙන දෙයක් ගැන අවධානය යොමු කිරීමට මෙරට තුළ පරිසරයක් නැත. ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා මවු සංගම් ඉදිරියට ආ යුත්තේ මෙවන් පසුබිමකය. අද සංගම් සම්මේලනවල මහා පුටුවලට පොරකා ගෙන එන්නන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කළ සටනක් නැත. ඔවුන් සටන් කළේ කෙසේ හෝ පුටුව බදා ගැනීම සඳහා පමණි. ක්‍රීඩාව, ක්‍රීඩක - ක්‍රීඩිකාවන් රැක ගන්නට වැඩ සටහනක් හෝ යන්ත්‍රණයක් අදටත් නැත.

ක්‍රීඩාවෙන් බෙදා හදා ගත් අය තම තමන්ට හැකි පමණින් බෙදා හදා ගත්හ. ඒ අතින් ශ්‍රියාලතාත් එදා මෙන් ම අදත් පරාජිතයන්ගේ ගොන්නේ ය. ශ්‍රියාලතා ඉල්ලන්නේ රටක් රාජ්‍යයක් නොවේ. ජීවත් වන්නට මඟකි.

 

Comments