
ශ්‍රී ලංකාවට මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අගනා අවස්ථාවක් උදා වූයේත් ඉහත එංගලන්ත තරගය නිසාමයි. එහි වාසිය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට තිබුණේ කොදෙව් දූපත් හෝ දකුණු අප්‍රිකාව හමුවේ තරගයක් ජය ගැනීමයි. එහිදී අප්‍රිකාවට එරෙහිව තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට විශාල අවස්ථාවක් තිබුණි. එහෙත් ඒ සඳහා තවත් ලකුණු 20 ක් හෝ 30 ක් පමණ ලබාගත යුතු විය.
එහෙත් එය කිරීමට හැකි වූයේ නැත. එහි අවසනදී වූයේ සුපුරුදු ප්‍රතිඵලයම ලැබීමයි. එනම් මුල් වටයෙන් ම ඉවතට යෑමට සිදුවීමයි.
ගත වූ කාලය පුරා ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සාර්ථක වූයේ නම් ඒ ටෙස්ට් තරගවලිනි. මෙවර එංගලන්ත සමඟ ටෙස්ට් තරගමාලාව ඇරඹෙන විටත් සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ පොදු බලාපොරොත්තුවත් ජයග්‍රහණය වූයේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත.
එංගලන්තය එක්දින ජාත්‍යන්තර තරගමාලාව ජය ගත්තේ තරග 3 – 1 කිනි. පැවැති එකම 20 – 20 තරගයත් ඔවුන් ජය ගත්හ. එංගලන්ත ජාතික කණ්ඩායම මේ වනවිට ලොව හොඳම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම ලෙසට සැලකෙයි.
එහෙත් ටෙස්ට් තරගවලදී එසේ පැවසිය නොහැකි ය. ඒ විශේෂයෙන් ම විදෙස් තරගවලදී ඔවුන්ගේ දස්කම් ගත වූ කාලයේදී උසස් මට්ටමක තිබුණේ නැති බැවිනි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ පැවැත්වෙන තරගවලදී ඒ බව මනාව සනාථ වූයේය.
එම නිසාම එක්දින සහ 20 – 20 තරගවලදී කෙසේ වෙතත් ටෙස්ට් තරගමාලාව එංගලන්තයට ජය ගැනීම පහසු නොවන බව බොහෝ දෙනාගේ මතය විය.
එසේ වුවත් ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් වූයේ එංගලන්තයයි. ඒ සමඟම ඔවුහු තරගමාලාව ජය ගැනීමට තමන් සූදානම් බවත් පැවසූහ.
ප්‍රථම ටෙස්ට් තරගය නිමා වූයේ ශ්‍රී ලංකාවට තවත් අලාභහානි දෙකකුත් සිදුකරමිනි. එනම් ගත වූ කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් ජයග්‍රහණ වැඩි ගණනක නියමුවා වූ රංගන හේරත් ක්‍රීඩාවෙන් සමුගනිමිනි. එමෙන්ම නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම නිසා ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීමට නොහැකි වීමෙනි.
එම නිසාම ඉතිරි තරගවලදී ශ්‍රී ලංකා නායකත්වය සුරංග ලක්මාල්ට හිමි විය. ප්‍රථම තරගය පරාජය වුවත් ඉතිරි තරග ජය ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා බලාපොරොත්තු යළිත් අලුත් කිරීමට ලක්මාල්ගේ නායකත්වය ඉවහල් වූවාට සැකයක් නැත.
ඒ ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් පරාජය වී තිබුණේ නැති බැවිනි. එසේ වුවත් සෑම විටම ජය ගැනීමට නොහැකි ය. එමෙන් ම සැමදාම පරදින්නේත් නැත. ක්‍රීඩා ලොව එසේ ය.
පල්ලෙකැලේදී පැවැති දෙවන තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජය වූයේය. එය ලකුණු 57 කිනි. ඒ අනුව මෙම තරගයේ ජය දෙපිලටම ලබා ගත හැකි මට්ටමක තිබුණි. එංගලන්ත නායක සහ දෙවන ඉනිමේදී ශතකයක් රැස් කරමින් තරගයේ වීරයා වූ ජෝ රූට් එය හොඳ ටෙස්ට් තරගයක් ලෙසට හැඳින්වූයේත් ඒ නිසාමයි.
සුරංග ලක්මාල් තරගයෙන් පසුව පැවසුවේ සුළු සුළු අතපසුවීම් සිදුවූ බවත් ඒවා නිවැරැදි කර ගැනීමට හැකි බවත් ය.
එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වනුයේ ට්‍රෙවර් බේලිස් ය. හෙතෙම ඔස්ට්‍රේලියානුවෙකි. එමෙන් ම 2007 සිට 2011 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාය. “මෙහාට (ශ්‍රී ලංකාවට) ඇවිත් ක්‍රීඩා කිරීම පහසු නැහැ. ඒ වුණත් සියලු ක්‍රීඩකයින්ම විශිෂ්ට ලෙස දස්කම් දැක්වූවා” බේලිස් පැවසුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම පරාජයන් සඳහා දුර්වල පන්දු රැකීම විශාල ලෙස බලපෑ බව සිතයි. “සෑම තරග අංශයකින්ම අපේ පන්දු රැකීම දුර්වලයි.”
කලක් ලොව හොඳම පන්දු රැකීමේ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවත් ඉහළ මට්ටමක සිටියේය. එහෙත් ගත වූ වසර කිහිපයක කාලය තුළදී පන්දු රැකීම දුර්වලව පවතියි. විශේෂයෙන්ම ඉතා තීරණාත්මක උඩපන්දු අත්හැරීම සාමාන්‍ය දෙයක් වී තිබේ.
කෙසේ හෝ අවසානයේ දී සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාව තවත් ක්‍රිකට් පරාජයකට ලක්වීමයි. එංගලන්තය ටෙස්ට් තරගමාලාවක් ශ්‍රී ලංකාවේදී ජයගත්තේ 2000 – 01 තරග වාරයට පසුවය.
එමෙන් ම දකුණු ආසියානු නොවන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙරටේදී ටෙස්ට් තරගමාලාවක් අවස්ථා 20ක් අතරින් ජයගත් 05 වැනි වතාවත් මෙවර වේ. මීට පෙර එංගලන්තය 2000 – 01, ඔස්ට්‍රේලියාව 2003 – 04, 2010 – 11 සහ දකුණු අප්‍රිකාව 2014 එම දුලබ ජයග්‍රහණ අත්කර ගෙන තිබේ.
මෙවර එංගලන්තය ටෙස්ට් තරගමාලාව ජය ගැනීමට තවත් විශේෂ හේතුවක් තිබේ. ඒ ඔවුනගේ දඟ පන්දු යවන්නන් වැඩි දස්කම් දැක්වීමයි.
දෙවන ටෙස්ට් තරගයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා කඩුලු 20 න් 19 ක් ම දවා ගත්තේ එංගලන්ත දඟ පන්දු යවන්නන් තිදෙනා වන ජැක් ලීච්, මොයින් අලී සහ අඩිල් රෂීඩ් විසිනි. ඉතිරිය දුවද්දී දැවී යෑමකි.
එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේදී ඔවුන්ගේ වේග හෝ මඳ වේග පන්දු යවන්නන් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අසමත් වෙමින් තරගයක් ඔවුන් ජයගත් තෙවැනි වතාවත් මෙවර දෙවන තරගය විය. මීට පෙර 1951 - 52 ඉන්දියාවට එරෙහිව කාන්පුර් සහ 1956 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ය. ජිම් ලේකර් මුළු තරගයේදීම කඩුලු 19 ක් ම දවාලුවේ එම තරගයේදී ය.










