ක්‍රිකට් අර්බුදයත් අද හෙට නොවිස‍ඳෙන ලකුණු..! | සිළුමිණ

ක්‍රිකට් අර්බුදයත් අද හෙට නොවිස‍ඳෙන ලකුණු..!

අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් ක්‍රිකට් යනු නිල නොවන ජාතික ක්‍රීඩාව බව කීවාට වරදක් නැත. ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවතට ඉතාම සමීප ක්‍රීඩාවද ක්‍රිකට් ය. 96 දී ලෝක ශුරතාව දිනාගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙරට බොහෝ දෙනාගේ වීරයන් බවටද පත් වූහ.

එහෙත් දැන් එළඹ ඇත්තේ පරාජිත පසුබිමක ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් ක්‍රීඩකයිනුත් දිනෙන් දින ජනතාවගේ සිත් සතන් තුළින් ගිලිහෙන අවධියකට ය. මෙයට පරිපාලකයන් මෙන්ම ක්‍රීඩකයනුත් වග කිව යුතුය. වෙනත් අයට වඩා‍ බොහෝ පසු පසින් සිටි රටවල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දියුණු වද්දී අපට මෙසේ පල්ලම් බැසීමට සිදු වුයේ ද දේශපාලනයේ මෙන්ම බල තන්හාව නිසාවෙනි. ඒ නිසා මෙරට දේශපාලනය හා ක්‍රිකට් පරිපාලනය අතරද පවතින්නේ සමානතාවකි.

අපේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවත්, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත්, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් බිඳ වැටි අවසන්ය. එක තරගයක් හෝ තරගාවලියක් දිනු පමණින් එසේ නැතැයි යමෙකු පවසන්නේ නම් එය විහිළුවකි.

මීට පෙරද මෙම තීරුවෙන් පාසල් ක්‍රිකට් සංගමය හා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර කඹ ඇදිල්ල නිසා වන හානිය පෙන්වා දුන්නෙමි. පාසල් ක්‍රිකට් මට්ටම ගැන අවධානයක් යොමු නොකළහොත් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්ද පවතින්නේ අවදානමේය.

ක්‍රිකට් නිලවරණය සඳහා වන නඩුවේ තීන්දුවෙන් පසු පවත්වන්නට යෙදෙන නිලවරණයෙන් පත්වන කවුරුන් වුවද කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමත් වර්තමානයේ ක්‍රිකට් ආයතනය තුළ පවතින වෘත්තීමය නොවන ක්‍රියාකාරකම් වහාම අත්හිටුවීමත් අනිවාර්යයෙන් කළ යුතුව තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පරිපාලනය තාවකාලිකව පත්වීමෙන් පසුව ක්‍රිකට් ආයතනය තුළ නුසුදුස්සන් රිසිසේ පිනුම් ගසන්නට පටන් ගෙන ඇත. ඉහළම පෙළේ නිලධාරීහු ද මෙහි පෙරමුණේ පසුවෙති.

වියදම් සිදු කෙරෙනුයේ සිදු කළ යුතු දෙයට නොවේ. තම රාජකාරිය හරි හැටි නොකිරීමෙන් ක්‍රිකට් ආයතනයට සිදුවන පාඩු ගැන සොයා බැලීමක් හෝ ඒවාට වග කිව යුත්තන්ගෙන් අය කර ගැනීමක් හෝ දඬුවම් කිරීමක් නැත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් රටින් පිට වෙනත් හොර ගිණුමකට යැවීමට තැත් කිරීම හා තවත් ඩොලර් ලක්ෂ 2ක පමණ මුදලක් එවැනිම තවත් හොර ගිණුමකට යාම පිළිබඳ මෙතෙක් කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවැරීම හේතුවෙන් එහි මුල්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ් ගත කොට තිබේ. එහෙත් ඒ සඳහා වග කිව යුතු වෙනත් කිසිවකු මෙතෙක් සොයා ගෙන නැත.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පල්ලෙකැලේ ටෙස්ට් තරගය සඳහා අවසන් මොහොත වන තෙක් කණ්ඩායම් දෙකට අවශ්‍ය හෝටල් කාමර ගණන වෙන් කරවාගෙන නොතිබිණ. මේ ‍හේතුවෙන් සංචාරක ඒජන්තයන් හරහා කලින් හෝටල් කාමර වෙන්කරවා ගෙන සිටි එංගලන්ත ප්‍රේක්ෂකයන් වෙනත් හෝටල්වලට මාරු කර ඔවුන් සතුටු කිරීමට ලබා දුන් වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ලක්ෂ ගණනක් අමතරව වැය කරන්නට සිදු වුණත් එවැනි තත්ත්වයක් උදා කර දුන් ක්‍රිකට් ආයතනයේ වගකිව යුත්තෝ නිරුපද්‍රැතව සිටිති.

කළින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් අනුමත නොකළ කණ්ඩායමක් විදෙස් සංචාරයකට යොමු කොට ගුවන් යානයෙන් බස්වා පසුදින වෙනත් ගුවන් යානයකින් යාමට සැලැස්වු නිලධාරියාගෙන් අදාල පාඩුව අය කර ගන්නා බව ඇමැතිවරයා පැවසුවද එය සිදු නොවීය. ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවන්, සහායක පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන් තෝරා ගැනෙන්නේ ප්‍රධාන පුහුණු කරුට අවශ්‍ය අන්දමටය. ක්‍රීඩකයන් සිටි‍න්නේ බියකිනි. විනයද පිරිහී ගොසිනි. තේරීම් කමිටුව පුහුණුකරුගේ පදයට නටන ජෝකරයන් පිරිසක් බවට පත්ව ඇත.

කලක් මෙලෝ රහක් නැති සුද්දෙකුගේ පාලනය ය‍ටතේ පැවැති පුහුණු අංශය කණ්ඩායම් කළමනාකරු ලෙස ගෙන්වූ අයකු යටතට පත් කර ඇති අතර එහිද කිසිදු ප්‍රගතියක් දක්නට නැත. දහනවයෙන් පහළ කණ්ඩායම පසුගිය වකවානුවේ සංචාර දෙකක නිරත වූ අතර ක්‍රීඩකයන්ට ලැබෙන්නේ අවම පහසුකම්ය. මෙම ළාබාල ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රිකට් උපකරණ පවා නොලැබේ. හෙල්මටය තම වියදමින් ගත් පසු ලාංඡනය පමණක් පිරිනැමේ.

නිලවරණය පවත්වන තෙක් කටයුතු සිදු කිරීම සඳහා නොබෝදා ක්‍රීඩා ඇමැතිවරයා විසින් කමිටු තුනක් පත් කළද එම පත්වීම්වලද දෝෂ ඇත. කොළඹ ක්‍රීඩා සමාජ කිහිපයක් කැඳවා පවත්වන ලද රැස්වීමකින් පසු ඔවුන්ගෙන් යෝජිත නම් කිහිපයකින් ක්‍රීඩා ඇමැතිවරයා මෙම පත්වීම් සිදු කර තිබේ. නිලවරණය වෙනුවෙන් අභියාචනාධිකරණයේ පැන වූ නඩුව හා අතුරු තහනම් නියෝග නිසා හිටපු විධායක සභා නිලධාරියකුට මෙම කමිටුවලට පත්වීමට නොහැකි වුවත් නොදැනුවත්කමින් හෝ ඇමැතිවරයා විසින් එවැන්නකු පත් කර තිබේ. තරග කටිටුවේ වැඩි පිරිසක් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කිරීමද මතබේදයට තුඩු දෙයි.

තවත් කරුණු එමට ඇතත් මීට වඩා මෙම තීරුවේ ලිවීමට ඉඩක් නැත. ක්‍රීකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය විසඳීමට නම් ජනාධිපතිතුමන් හා අගමැති තුමන් වහාම මැදිහත් විය යුතු බව මීට පෙර ලිපියක මම සඳහන් කළෙමි. එහෙත් දැන් සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අර්බුදය ඊට කලින් විසඳා ගැනීමටය. ඒ නිසා ක්‍රිකට් අර්බුදයේ කෙළවරක් මට නම් පෙනෙන තෙක් මානයක නැත.

Comments