එක ලකුණට විකට් අටයි | සිළුමිණ

එක ලකුණට විකට් අටයි

අන්තර්පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත මේරි කණ්ඩායම දෙවැනි ඉනිමේ ලකුණු 6 කට සීමා කිරීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙහිදී ලකුණකට ප්‍රතිවාදි කඩුලු 8ක් දවා ගනිමින් ශාන්ත මේරි කණ්ඩායම සුනුවිසුනු කර දැමීමට ප්‍රමුඛත්වය ගත්තේ වමතින් මඳ වේග පන්දු යවන කලණ පෙරේරායි. පළමු ඉනිමේ ලකුණු 17කට කඩුලු 8ක් සහ දෙවැනි ඉනිමේ ලකුණකට කඩුලු 8ක් බිඳ දැමු කළණ සමස්ත තරගයේ ලකුණු 18කට කඩුලු 16ක් බිඳ දැමීමට සමත් විය. පළමු පෙළ ක්‍රිකට් තරගයක ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන 06 වේ. එම ලෝක වාර්තාවට හිමිකරුවන් වන්නේ එංගලන්ත බී කණ්ඩායමයි. 1810 වසරේ ජුනි 12 වැනි දා එංගලන්ත ජාතික කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඔවුන‍්ගේ දෙවන ඉනිමේදී එංගලන්ත බී කණ්ඩායම මෙම ලකුණු 06ට දැවී ගියේය. මේ තරගය පැරණි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු පෙළ තරගයක ඉනිමක හොඳම පන්දු යැවීම සිදු කළේ එංගලන්තයේ හෙඩ්ලි වෙරිටි විසිනි. ඒ 1932 වසරේදී යෝර්ක්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් නොටිංම්ෂයර්ට එරෙහිව ලකුණු 10 ට කඩුලු 10 ම දවා ගනිමින්ය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරගයක ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සතුය. ඒ ලකුණු 41ට කඩුලු 10 ම දවා ගැනීමයි. ඔහු මේ දස්කම කළේ 1991 – 92 තරග වාරයේදී එස්.එස්.සී. කණ්ඩායමට ක්‍රීඩා කරමිනි. ප්‍රතිවාදින් වුයේ කළුතර ශාරීරික සංස්කෘතික මධ්‍යස්ථාන කණ්ඩායමයි. මේ කලණ පෙරේරා සමඟ කතාබහකට ක්‍රිඩාවෙන් කළ ඉඩකඩයි.

කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලය සමඟ පැවැති ක්‍රිකට් තරගය ‍ලෝක වාර්තාවක් වුණේ කොහොමද?

ශාන්ත මේරි කණ්ඩායම ලකුණු හයකට සියලු්‍ දෙනා දැවී ගියා. ඒක තමයි කණ්ඩායමක් ඉනිමක රැස් කරලා තියෙන අඩුම ලකුණු සංඛ්‍යාව. ඒකේ ම අනෙක් ලෝක වාර්තාව තමයි මම ලකුණකට කඩුලු අටක් බිඳ ‍ෙහළුවා. මුළු තරගයේදීම ලකුණු 18කට විකට් 16ක් දවා ගත්තා. පාසල් අතර ලෝක මට්ටමේ ගත්තත් මේක තමයි හොඳම පන්දු යැවීම වෙන්නේ. තවත් හොඳම පන්දු යැවීමක් මගේ තියෙනවා. මම දන්නේ නෑ ඒකත් ලෝක වාර්තාවක් ද කියලා. අවුරුදු 17න් පහළ පන්දු වාර 50 තරගයකදී ලකුණු තුනකට කඩුලු 10 ක් දවා ගත්තා. මේ ‍අවුරුද්දේ එස් ද එස් ජයසිංහ විද්‍යාලය එක්ක තිබුණු තරගයේදී.

මීට කළින් ඉනිමක අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිහින් තිබුණේ රාජකීය විද්‍යාලය ලකුණු 09 කට?

ඔව්, රාජකීය - ශාන්ත තෝමස් මහා තරගයේදී 1890 ගණන්වල තමයි රාජකීයයෝ ලකුණු 09කට සියලු දෙනා දැවී ගිහින් තියෙනවා.

ශාන්ත මේරි තරගයට යන කොට මොනවගේ ප්ලෑනක් තිබුණේද?

අපි මුලින්ම හිතුවේ තරගය කොහොම හරි ජය ගන්න ඕනෑ කියලයි. කොහොමත් මේ විදියට තරගය යයි කියලා කීයටවත් හිතුවේ නෑ. අපි ප්‍රතිවාදීන් ගැන හරියට දැන ගෙන හිටියෙත් නෑ. ශාන්ත මේරි ටීම් එක අපි ලෙහෙසියට ගත්තෙත් නෑ. කොහොම හරි ඒ දවසේ හොඳට ක්‍රීඩා කරනවා කියලා තමයි හිතුවේ. තරගය තිබුණෙත් අපේ ක්‍රිඩා පිටියේ.

ශාන්ත තෝමස් ටීම් එකක් විදියට කොහොමද?

අපේ හුඟක් තුන් ඉරියව් ක්‍රිඩකයෝ ඉන්නවා. අපේ අයට හොඳ හැකියාවක් තියෙනවා.

ඒ හැකියාවන් ප්‍රතිවාදීන් ලකුණු හය රැස් කලේ කොහොමද?

ලකුණු හයෙන් හතරක් ම අතිරේක ලකුණු. එක පිතිකරුවයි ලකුණු දෙකක් ගත්තේ. ලකුණු දෙකෙන් එකක් මගෙන් ගියේ.

ශාන්ත මේරි තරගයේ ඔබ කඩුලු අටක් ගන්න කොට ඉතිරි කඩුලු දෙක ගැන අවධානය ගිලිහුණා ද?

දහයම ගන්න තිබ්බා කියලත් හිතනවා. මම ප්ලෑන් කළෙත් ඒ විදියට තමයි. එත් විකට් දෙක වෙන පන්දු යවන්නන්ට ගියා. මම හැම වෙලාවෙම බලන්නේ ‍ෙපෟද්ගලික දක්ෂතාවට වඩා ටීම් එකක් විදියට ඉදිරියට යන්නයි. අපි කොහොමත් ටාගට් කළේ ලෝක වාර්තාවට යන්නයි.

ශාන්ත මේරි තරගයේ විකට් කීයක් විතර යන කොටද ලෝක වාර්තාව ගැන අදහස එන්නේ?

අපි මුලින්ම 311ක් ගහලා ඒගොල්ලෝ 72කට පළමු දවසේම දැවී ගියා. එදාම ඒ ගොල්ලෝ අන්තිම හරියේ කඩුලු 5 ක් ලකුණු 4 කට දැවි යනවා. ඒ විකට් පහෙන් හතරක් ම මට තිබුණේ. ලකුණු නෑ. ඊට පස්සේ දෙවැනි දවසේ අපි ප්ලෑන් කළේ ලකුණු 4ට විකට් 5 ක් ගන්න පුළුවන් නම් ඉතුරු විකට් 5ත් ඉක්මනට ගත්තොත් වාර්තාවට යන්න පුළුවන් වෙයි කියලා හිතුවා.

ප්‍රතිවාදීන්ගේ දුර්වලතා මොනවාද?

පන්දුව දෝලනය වන කොට ඒගොල්ලන්ට පහර දෙන්න අමාරුයි කියලා තේරුණා. පළමු පෙළ ක්‍රීඩා කළ හොඳ ටීම් එකක්. මගේ වේගයටයි, දෝලනයටයි ඒ අය තේරුම් ගන්න අමාරු වුණා කියලා හිතනවා. තරගය පන්දු ඕවර 10යි පන්දු 5 ක් ගියා.

ඔබ ක්‍රිකටර් කෙනෙක්වන පසුබිම කොහොමද හැදෙන්නේ?

මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ අවුරුදු 11 දී. මුලින් ම පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් තමයි ක්‍රිකට් පටන් ගන්නේ. අපේ ඉස්කොලෙත් ක්‍රිකට් ගහන්න තරම් පසුබිමක් තිබුණේ නෑ. කොටින් ම අපිට ක්‍රීඩා පිටියක්වත් තිබුණේ නෑ. ඒ නිසා අපි නුගේගොඩ ලයිසියම් එක්ක තමයි ක්‍රීඩා කරන්න ගන්නේ. එහෙම පටන් අරගෙන අවුරුදු 12 දී 19 න් පහළ කනිෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කළේ. ඒ කාළේ මම වමතින් දඟ පන්දු යැවීම තමයි කෙරුවේ. මට හොඳ ම පන්දු යවන්නා වෙන්නත් ඔය අතරේ පුළුවන් වුණා.

ඔබ වේග පන්දු යවන්නෙක් වුණේ කොහොමද?

මහා තරගයකදී සර් කෙනෙක් තමයි කිව්වේ උසින් ප්‍රයෝජන ගන්නත් එක්ක වේග පන්දු යවන්න කියලා. ඒ ලකි රොජර්ස් සහ ප්‍රණීත් සර්ලා. ඒ විදියට තමයි මම දඟ පන්දුවෙන් වේග පන්දු යවන්න හුරු වුණේ. මම ඊට පස්සේ අපේ නුගේගොඩ හිටපු දිලුම් රාමනායක සර් ගෙන් අහලා බැලුවා. එයා චම්පක රාමනායක සර්ගේ මල්ලි. මම වේගයෙන් පන්දු යවලා බැලුවා. පස්සේ පාණදුර පාසලේ ඉන්න නදීප් ජයසිංහ සර් එක්කත් කතා කරලා පන්දු යවලා බැලුවා. එහෙම තමයි වේග පන්දු යවන්නෙක් වුණේ.

දඟ පන්දු යවන්නා වේග පන්දු යවන්නෙක් වෙන්නෙත් අහම්බෙන් ?

ඇත්තට ම ඔව්. මගේ උසින් ප්‍රයෝජනයක් ගන්න කිව්ව එකේ මම මුලින් හිතුණේ වමතින් දඟ පන්දු යවන අය අඩුයි කියලා. හැබැයි බලාගෙන යන කොට ගොඩක් දඟ පන්දු යවන්නෝ හිටියා. වමතින් වේග පන්දු යවන අය අඩුයි කියලා හිතුණා. එදා ඉඳලා තමයි මම වමතින් වේග පන්දු යවන්න පටන් ගත්තේ.

ඔබ වේග පන්දු යවන්නකු විදියට ආපු තරගාවලිය මොකක්ද?

2014 ප්‍රීමා ක්‍රිකට් තරගාවලියේ තමයි මම වමත් වේග පන්දු යවන්නෙකු විදියට ආවේ. අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමුවැනි අවුරුද්ද නම් අපට දිනා ගන්න බැරි වුණා. දෙවැනි අවුරුද්ද අර්ධ අවසන් පුර්ව වටය දක්වා ආවා. ඒ තරගාවලියේ මම හොඳම පන්දු යවන්නා වුණා. ඒ වෙන කොට මම ක්‍රීඩා කළේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. 2015 වන කොට ලයිසියම් මම ක්‍රීඩා කරන අන්තිම කාලය වුණා. මට නායකත්වය ලැබුණා. 15 න් පහළ වන කොට අපි පාණදුර ලයිසියම් කියලා තනියම ක්‍රීඩා කරන්න ලැබුණා. මුලින් අපි නුගේ‍ගොඩ එක්ක ඒකාබද්ධ වෙලා තමයි ක්‍රීඩා කළේ. වෙන්ව ක්‍රීඩා කළ පළමු තරගාවලිය 15න් පහළ ක්‍රීඩා තරගාවලියේ ශූරයන් වෙන්න අපිට පුළුවන් වුණා.

ඊට පස්සේ?

හුඟක් පුහුණුකරුවන් අම්මා - තාත්තට කියලා තියෙනවා. පුතාට ක්‍රිකට්වලින් හොඳ අනාගතයක් තියෙනවා ඒ නිසා හොඳ ක්‍රිකට් පසුබිමක් තියෙන පාසලකට ඇතුළත් කරන්න කියලා. ඒ වෙන කොටත් හුඟක් ඉස්කෝල මට කතා කරලා තිබුණා. ඒ අතරේ තමයි මම ශාන්ත තෝමස් විද්‍යාලය තෝරා ගත්තේ.

ඔබ මුලින් ම ක්‍රීඩා කළෙත් ක්‍රිකට් ද?

නෑ. බාස්කට්බෝල්... ඒ අතර නිකමට වගේ ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒක දැකලා තමයි සර් කෙනෙක් මට එන්න කිව්වේ. ඊට අමතරව මලල ක්‍රීඩා කළා. යගුලිය දැම්මා. හෙල්ල විසි කළා. ඊට අමතර නර්තන අංශයෙනුත් සමස්ත ලංකා දක්වා ගිහින් තියෙනවා. ඊට පස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ආවට පස්සේ ක්‍රිකට් ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ ක්‍රිකට්වලින් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතුණා.

බාස්කට්බෝල් - මලල ක්‍රීඩාවෙන් කොයි තරම් දුර ආවාද?

බාස්කට්බෝල්වලින් එතරම් දුර යන්න ලැබුණේ නෑ. නර්තනයෙන් නම් සමස්ත ලංකා දක්වා ම ආවා. ඒකෙන් නම් පළමු ස්ථානය පවා දිනා ගෙන තියෙනවා. ඒ 2015 -16 දී විතර. ඊට පස්සේ යගුලිය විසි කිරීමෙන් සමස්ත ලංකා ඇවිත් තියෙනවා. සමහර තරගවලට ක්‍රිකට් නිසා යන්න බැරි වුණා. ඒවා ක්‍රිකට් එක්ක කරන්න අමාරුයි.මේ හැම දෙයක් එක්ක ම ඉගෙන ගන්නත් ඕනෑ. හැම දෙයක්ම කරන්න අමාරුයි මහන්සි හින්දා ඒ නිසා හුඟක් දේවල් අතහැරලා දැම්මා.

ඔබ ශාන්ත තෝමස් තෝරගත්තේ ක්‍රිකට් නිසාම ද?

ඔව්, ඒ වෙන කොට ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් එන්න කියලා කිව්වා. ඒ වගේ ම මගේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් පස්සේ වෙන ඉස්කෝලයකට යන්න අදහසකුත් තිබුණා. ලයිසියම්වලත් ක්‍රිකට් ක්‍රීඩාව ලොකුවටම ප්‍රචලිත වෙලා තිබ‍ුණෙත් නෑ.

ක්‍රිකට්වලට අමතරව ඔබේ ජීවිතය?

අපොස උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ. උසස් පෙළ වාණිජ විෂයන් කළේ. සාමාන්‍ය පෙළ ඒ හතයි බී දෙකයි.

මේ හැම දෙයක්ම අතරට නර්තනය එකතු වුණේ කොහොමද?

ලයිසියම්වල උඩරට නැටුම් විෂයක් විදියටම තියෙනවා. මාත්‍රා කියලා වෙනම ප්‍රසංගයකුත් තියෙනවා. කට්ටිය ලස්සනට නටනවා දැක්කම මටත් ආසා හිතුණා.

හොඳ ක්‍රිකටර් කෙනෙක් වගේම නැට්ටුවෙක්?

මට නටන්න පුළුවන් කියලා දන්නවා. හැකියාවත් තියෙනවා. ඒක මොන තරම් හොඳ මට්ටමක තියෙනවාද කියන්න නම් දන්නේ නෑ.

වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ ඔබේ දක්ෂතා?

මැලේසියාවේ තිබුණු ආසියානු කුසලාන තරගාවලියේ මුලික වටයෙන් එළියට විසි වුණා. මගේ අන්තිම ජාත්‍යන්තර 19 න් පහළ තරගාවලිය මම උපනායකයා වුණා. ඒ තරගාවලියේදී අපි අවසන් තරගාවලිය දක්වා ආවා. අපි අවසන් තරගයේ ඉන්දියාවට පැරදුණේ. අපේ ක්‍රිකට් වැටිලා තිබුණු වෙලාවක තමයි අපි ඒ තරගාවලියේ අවසන් තරගයට ආවේ. ආසියානු තරගාවලියේ ම ජාතික කණ්ඩායම කළින්ම එළියට විසි වෙන කොට තමයි අපි බංග්ලාදේශය - පාකිස්තානය පරාජය කරලා ඉදිරියට ආවේ. අපි ඒ තරගාවලියේ ඉන්දියාවට විතරයි පැරදුණේ. නවසිලන්තයේ තිබ්බ 19න් පහළ ලෝක කුසලානයට ගියා. හැබැයි ආබාධයක් වෙලා තරග කරන්න බැරි වුණා. ඒ තරගාවලියට අමතරව විදේශ තරගාවලි පහකට විතර ක්‍රීඩා කරලා තියෙනවා.

19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන කොට ලැබුණු අත්දැකීම් කොහොමද?

චමින්ද වාස් සර්ගෙන් පන්දු යැවීම ගැන හුඟක් දේවල් ඉගෙන ගත්තා. හුඟක් දේවල් අහගෙන තියෙනවා. වාස් සර් කිව්වෙත් මට හොඳ අනාගතයක් තියෙනවා කියලයි. ඒ උපදෙස් ඉගෙන ගත්ත දේවල් මට ලොකු හයියක් වුණා. ඒ වගේ ම හෂාන් සර්ගෙන් මගේ බැටිං පැත්ත ගැන අවධානය යොමු කරන්න ඉගෙන ගත්තා. මගේ මානසිකත්වය පැත්ත ගැන පවා අවධානය යොමු කළේ හෂාන් සර්.

Comments