
ශෙලින්ඩා ක්‍රීඩිකාවක විදියට ගොඩනැඟෙන පසුබිම හැදුණේ කොහොමද?
මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කොට තුන වසරේ නිවාසාන්තර තරගාවලියට දිව්වා. එහෙම දුවන කොට මට ක්‍රීඩාව ගැන එහෙම විශේෂ දැනුමක් තේරුමක් තිබුණේ නෑ. අම්මා තමයි මගේ හැකියාව දක්ෂතාව හඳුනා ගත්තේ. නිවාසාන්තර තරගාවලියේ දුවලා පළමු වැනියා වුණා. එතැනදි තමයි අම්මට හිතිලා තියෙන්නේ මට මේ ක්ෂේත්‍රයේ අනිවාර්යයෙන් ම ඉදිරියට යන්න පුළුවන් කියලා. ඊට පස්සෙ තමයි පුහුණුකරුවන් හොයාගෙන ගිහින් ඔවුන්ට යොමු කරලා තියෙන්නේ. එදා ඉඳලා මම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ආවා. ඒ 2009 විතර කාලයේ.
ශෙලින්ඩා හිල්වුඩ් විද්‍යාලයෙන් කොළඹට ආවේ?
2016 දී තමයි කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලට ආවේ. 2016 දී තිබුණා ජාතික පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මම දුවන එක ගේට්වේ පාසලේ ලක්නා වරාවිට මිස් දැකලා තමයි ඇවිත් කතා කළේ, මට ශිෂ්‍යත්වයත් එක්කම ගේට්වේ එන්න අවස්ථාව ලැබුණා.
ශෙලින්ඩාගේ එදා ඉසව්ව වුණේ මොකක්ද?
මීටර් 100 – 200. ඒක තමයි දිගටම වගේ කරගෙන ආවේ. මම හිල්වුඩ් ඉන්න කොටත් මොන ක්‍රීඩාවට ගියත් මට දිනන්න ඕනෑ. හිල්වුඩ් ඉන්න කාලයේ නිවාසාන්තර තරගවල ඉඳලා සමස්ත ලංකා දක්වා ම ආවා. එහෙම තමයි ටිකෙන් ටික ඉදිරියට ආවේ.
ඔය අතර දුවපු තරගවලින් මේ අවුරුද්දේ ජාතික කනිෂ්ඨ තරගාවලිය අමතක වෙන්නේ නෑ. ඒ තරගාවලියේ අවුරුදු 32ක් පැරැණි ටානියා වැන්හියර්ගේ මීටර් 200 වාර්තාව බිඳ දමපු එක අමතක වෙන්නේ නෑ. මම තත්. 24.92කට දිව්වේ. 25.04 ක් තමයි තිබ්බේ.
හිල්වුඩ් විද්‍යාලයේ ඉන්න කොට ශෙලින්ඩා මලල ක්‍රීඩාවට විතරද යොමු වුණේ?
මම මුලින් ම කළේ පිහිනුම් ක්‍රීඩාව. තුන වසරේදී මලල ක්‍රීඩාවට යොමුවෙන්නේ. පිහිනුම් ක්‍රීඩාවෙන් මධ්‍යම පළාතේ ගොඩක් තරගවලට සහභාගි වුණා. කොළඹ ආවාට පස්සේ තමයි පිහිනුම් නතර කළේ.
මට එක ක්‍රීඩාවකට වැඩි අවධානයක් යොමු කරන්න වෙනකොට පිහිනුම් අත හැරලා මලල ක්‍රීඩාවට යොමු වුණා. මම තමයි ඒ තීරණය ගත්තේ. ඒ අතර අධ්‍යාපනය ගැනත් මම වැඩි අවධානයක් යොමු කරනවා.
මේ තරම් දුර සැහැල්ලුවෙන් ආවාද? දුෂ්කරතා මැඩගෙන ආවාද?
ඇත්තටම මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. පොඩි කාලයේ ඉඳලා කරගෙන එන එක ගොඩක් අමාරුයි.
අම්මා - තාත්තා නෑදෑයෝ තමයි මට ගොඩක් වියදම් කළේ. මට කාගෙවත් වැඩි උදවු තිබුණේ නෑ. මම මගේ මහන්සියෙන් සහ අම්මා - තාත්තාගේ උදව්වලින් ආපු ගමනක් තමයි මේ තියෙන්නේ.
මේ ගමනේ බාධක වැඩියි අපෙත් එක්කම ඉන්න අය අපට වළ කපනවා කිව්වොත් හරි. මම ගොඩක් ප්‍රශ්න මැද ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. මගේ එක දෙයක් තියෙනවා කවුරු හරි මාව පාගන්න පාගන්න මම කොහොම හරි නැගිටලා පෙන්වනවා. මාව බිම දාන්න බෑ, මාව පාගන්න බෑ, වට්ටන්න බෑ කියන එක මම පෙන්වනවා.
මම කොළඹ ආපු වෙලාවෙත් නුවරින් කෙල්ලෙක් ආවා, මෙයා දුවනවා බලමුකෝ වගේ වචන මට හැම වෙලාවේම ඇහුණා. මම ඒවා ගණන් ගන්නේ නැතුව මගේ ගමන ගියා. අදටත් එහෙම වැටුණේ නැති නිසයි මෙච්චර දුර ආවේ කියලා.
ශෙලින්ඩාගේ ධාවනයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ කනිෂ්ඨ සාග් මලල ක්‍රීඩා තරගාවලිය නේද?
ඔව්. මගේ පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නෙත් සාග් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය. මේක වයස ඇවුරුදු 20න් පහළ තරගාවලිය. මේ තරගාවලියේ මගේ ඉසව්වලත් ලාබාලම ක්‍රීඩිකාව වුණේ මම. මම මේ තරගාවලියෙන් මගේ උපරිමයෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තා.
අමාෂා අක්කා තමයි රන් පදක්කම දිනුවේ. ජාතික කනිෂ්ඨ තරගාවලිය දුවලා තමයි මේ තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ.
හිතපු නැති විදියට වෙලාවක මට වඩා ලොකු අය එක්ක තරග කරන්න අවස්ථාව ලැබුණා. සාග් තරගාවලියේ රන් පදක්කම දිනාගෙන නව ජාතික වාර්තාවක් තිබ්බා.
ඒත් අපිට ජපානයේ ගිෆුවල තිබ්බ ආසියානු කනිෂ්ඨ තරගාවලියට යන්න දුන්නේ නෑ. අපිට අවස්ථාව තිබිලත් තමයි යන්න දුන්නේ නැත්තේ.
ඒ තුන් දෙනෙකුට සල්ලි නෑ කියලා. ඒ තුන් දෙනා අතර මාත් හිටියා. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්.
අපි සාග් තරගාවලිය දුවන්නේ මේ ආසියානු තරගාවලියේ සිහිනය තියාගෙන. අපි වගේ අහිංසක පුංචි ළමයි තුන් දෙනකුගේ හිත් කඩපු එක නම් හරි වැරැදියි. අපි ඒක දුවලා තිබුණා නම් අනිවාර්යයෙන් ම පදක්කමකට යන්න තිබුණා.
ඒකට පස්සේ තමයි තායිලන්තයේ තිබ්බ යොවුන් ආසියානු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ගියේ. මූලික තරගවල හොඳට දුවලා හතර වැනියා වුණා. අවසන් තරගයට යනකොට මගේ තමයි හොඳම කාලය තිබ්බේ. කකුලේ ආබාධයක් ඇවිත් තමයි හතර වැනියා වුණේ.
ඒ තරගාවලියෙන් හතර දෙනයි යොවුන් ඔලිම්පික්වලට තෝරා ගත්තේ. කොහොම හරි නූලෙන් වගේ තමයි තරගාවලියට තේරුණේ.
යොවුන් ඔලිම්පික්වල මොකද වුණේ?
ඒකේ අදියර දෙකක් විදියට තමයි තරග තිබ්බේ. ඒ වගේ තරගාවලියකට ගිය පළමු වැනි වතාව මට ලොකු බයක් තිබ්බා. කාලගුණයත් ගොඩක් අමාරු වුණා.
සෙල්සියස් අංශක 10 කට තිබ්බේ. ඒක පුරුදුම නැති කාලගුණයක්. සුගතදාස වගේ ගත්තොත් අපි හොඳම අව්වේ තමයි දුවන්නේ.
ඒ දුවලා තමයි මීටර් 200 තත්පර 25 කට පළමුවැනි අදියර දිව්වේ. දෙවැනි අදියරට එනකොට මම හිතාගත්තා මේ තමයි මගේ අවසන් අවස්ථාව. මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනෑ කියලා. මේක ආයේ ජීවිතයට හම්බ වෙන්නේ නෑ.
ඒ නිසා ඊට කරන්න පුළුවන් හොඳම දේ කරනවා කියලා හිතුවා. කනිෂ්ඨයන් අතර සුසන්තිකාට සහ දර්ශාට පස්සේ හොඳම කාලයකට මට යන්න පුළුවන් වුණා.
දෙවැනි අදියරේ තමයි මං පළමු වැනියා වුණේ. දෙවැනි අදියරේ මට දෙක තුන්වැනියා වුණු අය පළමු අදියරේ මට කලින් හිටියා. ඒ තරගාවලිය හරහා මගේ හිතට ලොකු හයියක් ආවා.
අපි බය වුණොත් කිසිම දෙයක් කර ගන්න බෑ?
ඔව්. අපි හිතට හයිය අරගෙන තරගයක අවසානය ගැන විතරක් අවධානය යොමු කරනවා නම් අපිට ලෙහෙසියෙන් ම හොඳ කාලයකට යන්න පුළුවනි.
තරගයකට යන කොට මොනවද ඔළුවෙ තියාගෙන යන්නේ?
අපේ රටේ නම් තරගයකට යන්න කලින් ටිකක් කියවනවා, බයයි වගේ කියලා. අම්මටත් තරගයට කලින් රෑ කියනවා මට බයයි එහෙම කියලා. අපේ රටේ නම් එහෙම කරට කර එන්න ලොකු තරගයක් නෑ. හැබැයි බයක් තියෙනවා ඕනෑම තරගයකට යන කොට බයයි.
ඒ මොනවා වුණත් තරගයට පෙළ ගස්සලා ඉවර වුණාට පස්සේ නම් බයක් නෑ. සමහර අය තමන්ගේ දෙපැත්තේ ඉන්න අය දැකලා ඒ අය ගැන හිතලා බය වෙනවා. මට නම් එහෙම බයක් නෑ. මම එතැනට ගියාට පස්සේ තරග අවසානය ගැන විතරයි අවධානය යොමු කරන්නේ. මම අඩුම තරමේ වටපිට බලන්නේවත් නෑ. මම හිත හදා ගන්නේ මේ ටයිමිං එකට දුවනවා කියලා විතරයි. එහෙම හිතාගෙන දුවපු හැම තරගයක් ම මම හරියට කළා. මේ අවුරුද්ද පුරාම මගේ ටයිමිං ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒකට හුඟක් ම බලපෑවේ මගේ වුවමනාව සහ අවධානයයි.
අපේ රටේ තරගයක් තියෙනවාද?
තරගයක් නෑ කියන්නත් බෑ. තියෙනවා කියලා කියන්නත් බෑ. එක එක්කෙනා එක වෙලාවට දුවන්නේ. අද දෙවැනියා නෙවෙයි ඊළඟ තරගයේ දෙවැනියා වෙන්නේ.
සමස්ත ලංකා තරගාවලියට මම දිව්වේ නෑ. යොවුන් ඔලිම්පික් උලෙළට ගිය නිසා සමස්ත ලංකා තරගාවලියේ මීටර් 100 ඉසව්ව බෙන්තොට විද්‍යාලයේ ළමයෙක් තත්පර දොළහයි ගණනකට දුවලා තිබුණා. ඒක හොඳ කාලයක්. මේක මට පුදුමයක්. මේ වගේ ටයිමිං එකට දුවන එක. ඒක අපිට හොඳ තරගයක්. දිගටම තියෙනවා නම් හොඳයි. මම ආඩම්බරයකට කියනවා නෙවෙයි. මම ඒක වෙන තරගවල මට හොඳම තරගය දෙන ක්‍රීඩිකාව ඊළඟ තරගාවලියේ නෑ. මීටර් 100 සමස්ත ලංකා තරගය දිනපු බෙන්තොට ළමයා මට වඩා හොඳ කාලයක් වාර්තා කළා. හැබැයි ඊට කලින් තිබ්බ තරගාවලියේ එයා හය වැනියා. එක එක්කෙනා එක වෙලාවකට ඇවිත් දුවලා යනවා.
ප්‍රධාන තරග ඉසව්ව මොකක්ද?
මීටර් 200. මම හුගක් ආස මීටර් 100ට. පොඩි කාලයේ ඉඳලා හිතුවේ මීටර් 100 දුවලා ලංකාවට පදක්කමක් ගේන්න. මොන හේතුවකට හරි ඒක අනිත් පැත්තට හැරිලා මීටර් 200 ප්‍රධාන ඉසව්ව වුණා. මම මේ ඉසව්වට පොඩ්ඩක්වත් කැමැති නෑ.
ජාතික කනිෂ්ඨ තරගාවලියේ අවුරුදු 32 ක වාර්තාව කඩන්න කලින් දවසේ රෑ අපේ මිස්ට කතා කරලා කිව්වා මට මීටර් 200 දුවන්න බෑ! මාව ඔය ඉසව්වෙන් අයින් කරලා දාන්න කියලා. මම 100 විතරක් දුවන්නම් කිව්වා. යොවුන් ඔලිම්පික්වල ඉසව් දෙකක් දුවන්න බෑ. මාව 200 අයින් කරලා දාන්න කිව්වා. ඊට පස්සේ තමයි මිස් කිව්වේ නිකන් දුවලා බලන්න කියලා. එහෙම තමයි ඔය වාර්තාවට ගියේ.
මීටර් 200ට අකැමැති වෙන්න හේතුවක් තියෙනවාද?
දුර වැඩි හින්දා මම කැමැති නෑ. මම ගොඩක් ආසා මීටර් 100ට දුර අඩු නිසා. හැබැයි මීටර් 200 දිව්වට පස්සේ තේරුණා ඉදිරියට යන්න පුළුවන් මේ ඉසව්වෙන් කියලා.
එහෙම විශේෂයෙන් කියලා කවුරුවත් මට මීටර් 200 දුවන්න කියලා කිව්වෙත් නෑ. පොඩි කාලයේ ඉඳලා තරගාවලියකට යන කොට ඉසව් තුනකට තරග කළා. මීටර් 100, 200 සහ දුර පැනීම කලා. ඔහොම තමයි ඉදිරියට ආවේ.
ඒ දවස්වල මීටර් 200 දුවන කොට කලන්තෙත් හැදෙනවා. ඒ නිසාම තමයි කැමැති වුණේ නැත්තේ. ටික ටික මමත් ලොකු වෙන කොට 200 අත හරින්නත් හිතුණා. දුර පැනීම කොළඹට එනකොටම අත හැරියා. හැබැයි ඉතින් අන්තිමේට අකැමැති ඉසව්වෙන් තමයි ඉදිරියට යන්න වෙලා තියෙන්නේ.
පිහිනුම් නවත්තපු එක ගැන දුකක් කනගාටුවක් තියෙනවාද?
මම ගොඩක් ආදරය කළේ පිහිනුම් ක්‍රීඩාවට. මගේ ක්‍රීඩාව පිහිනුම්, අම්මා කැමැති මලල ක්‍රීඩාවට. මම පොඩි කාලයේ වත් මලල ක්‍රීඩාවට ආසා නෑ. අම්මාගේ කැමැත්තට තමයි දිව්වේ. අම්මා ඉස්කොලේ යන කාලයේ මලල ක්‍රීඩා කරලා තියෙනවා. අම්මා කරලා තියෙන්නෙත් 100-200 ඉසව්. අම්මට යන්න බැරි වෙච්ච ගමන තමයි ඒ. ඒ නිසාම වෙන්න ඇති මාව මේ ඉසව්වලට යොමු කළේ. තාත්තා කැමැති වුණෙත් මම පිහිනුම්වලින් ඉදිරියට යනවා දකින්නයි.
පිහිනුම් අත්හැරියේ හුඟක් දුකින්. මම ගොඩක් ආදරය කරන සර් කෙනෙක් තමයි ධම්මික සර්, එයා අදටත් මම ගැන හොයලා බලනවා. කොළඹට ආවට පස්සේ ටික ටික පිහිනුම් කළා ඒත් තරගවලට යන්න බෑ.
පුහුණුවීම්වලට කොච්චර කාලයක් වෙන් කරලා තියෙනවාද? සතියේ දවස් හයක් පුහුණුවීම් තියෙනවා. අනිවාර්යෙන් ම පුහුණුවීම්වලට යන්න ඕනෑ. භද්‍රා මිස් සහ සුනිල් ගුණවර්ධන සර් යටතේ පුහුණුවීම් කරන්නේ. උදේ - හවස දෙකේම පුහුණුවීම් තියෙනවා. ඉස්කොලේ වැඩ අතපසු කර ගන්නත් බෑ. සතියට දවස් තුනක් තමයි හවස පුහුණුවීම් කරන්නේ.
ක්‍රීඩාවයි - අධ්‍යාපනයයි ඔබ කොහොමද සමබර කර ගන්නේ?
මම දෙකම සමබරව කර ගෙන යනවා. අපි මොන ක්‍රීඩාව කළත් අන්තිමේට ඉතුරු වෙන්නේ අපි ඉගෙන ගන්න දේ විතරයි. ක්‍රීඩා අමාත්‍යාංශයට බෑ අපිව බලා ගන්න. අපි ක්‍රීඩාව කරන අතරම හොඳට ඉගෙන ගත්තොත් ක්‍රීඩාවෙන් අයින් වෙච්ච දවසකට හරි අපිට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා.
එහෙම නැති වුණොත් අපි දිනා ගත්ත පදක්කම් රටට පෙන්න පෙන්න තමයි ජීවත් වෙන්න ඕනෑ. මම ඒ දේට කැමැති නෑ. මම හොඳට ඉගෙන ගෙන ව්‍යාපාර කළමනාකරණ වගේ පැත්තට යන්න හුඟක් කැමැතියි.
මම මගේම ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්න ආසයි. මට කාගෙවත් යටතේ වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. හිතන්නේ නෑ. මගේම දෙයක් - අලුත් දෙයකින් ඉදිරියට යන්න කැමැතියි. කොටින්ම කාටවත් බරක් නැතුව අනාගතය ගොඩ නගා ගන්න කැමැතියි.
කොටින්ම රටේ වියදමින් මාව තැනකට ගෙනත් ක්‍රීඩාවෙන් රටට දිනා දීපු පදක්කම් ප්‍රදර්ශනය කරමින් ජීවත් වෙන්න මම කැමැති නෑ.
අම්මා - තාත්තා මොනවාද කරන්නේ?
තාත්තා පූජකවරයෙක්. අම්මා ගෙදර ඉන්නේ. අයියලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අයියා බැංකුවක වැඩ කරනවා. පොඩි අයියා රග්බි ක්‍රීඩා කරනවා- කිංග්ස්වුඩ් ඉගෙන ගෙන දැන් මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා.
මීටර් 200 ජාතික වාර්තාවට කොතරම් කාලයකින් යන්න බලාපොරොත්තු වෙනවාද?
තව වැඩිම වුණොත් අවුරුදු 2කින් වගේ කාලයකින් අනිවාර්යෙන්ම යනවා. දැන් වයස අවුරුදු 17යි. දැනට මීටර් 200 තත්පර 24.07ක් දිව්වා කියන්නේ මට අනිවාර්යෙන්ම මේ වාර්තාවට යන්න පුළුවන්.
අවුරුදු 2 කින් 23.0 කට දුවන්න පුළුවන් කියලා හිතනවා. අම්මයි - තාත්තයි ඇතුළුව මේ ගමන පිටිපස්සේ හුඟක් අය ඉන්නවා.
ඒ ඔක්කොම නම් වශයෙන් මතක් කරන්න බැරි වුණත් ඒ හැම දෙනාම මගේ හිතේ ගැඹුරුම තැන ඉන්නවා. එදා අම්මා මම දුවන දිහා බලාගෙන ඉඳලා ගත්ත තීරණය තමයි මාව මේ තරම් දුර අරගෙන ආවේ. මලල ක්‍රීඩාව ගැන එදා මට කිසිම අවබෝධයක් තිබුනෙත් නෑ.
අනාගත සැලසුම් මොනවාද?
ක්‍රීඩාව පැත්තෙන් මේ අවුරුද්දේ දුවපු තරගාවලි ටිකම 2020 එනවා. එතකොට මට අවුරුදු 20යි. සාග් කනිෂ්ඨ, ආසියානු කනිෂ්ඨ, ලෝක ශුරතා කනිෂ්ඨ තරගාවලි එනවා. ඒ තරගාවලි තුනේදීම මට විශේෂ යමක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මගේ වයසේ අයම තමයි ඔය තරගවල හම්බ වෙන්නේ. ඒ වෙනකොට මට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
බන්දුල ජයමාන්න
ඡායාරූපය - රංජිත් අසංක










