
ආර්ජන්ටිනාවේ පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළේ රටවල් 177 ක් අතරින් පාරමි වසන්ති මාරිස්ටෙලා දිනාගත් ලෝකඩ පදක්කමින් ශ්‍රී ලංකාවට හතළිස් දෙවැනි ස්ථානය හිමිවූ අතර, ශ්‍රී ලංකාව, සමඟ තවත් රටවල් පහක් එකී ස්ථානය දිනාගත්තේ ලෝකඩ පදක්කම බැගින් දිනා ගනිමින් ය.
පාරමී දිනා ගත් මෙකී පදක්කම සුසන්තිකා ජයසිංහ 2007 දී ඔසාකාහි පැවැති 11 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වෙන් දිනාගත් ලෝකඩ පදක්කමට පසු තවත් වසර 11 ක් ගෙවී ගිය තැන ශ්‍රී ලංකාවට හිමිවූ එකම ජාත්‍යන්තර මට්ටමේ පදක්කම මෙය වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොවුන් ඔලිම්පික් උලෙළේ පමණක් නොව, සාග් කනිෂ්ඨ සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියන්හිදී ද ප්‍රකට කළේ මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තරග බිමේ සටන්කාමී මට්ටමක පමණක් නොව, පදක්කම් සඳහා තට්ටු කරන මට්ටමක ද සිටින බවය. නමුත් මේ සඳහා තිබෙන වැඩපිළිවෙළ සහ සූදානම මත අනාගතය තීරණය වනු ඇත. තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළේ පාරමීට අමතරව සනිරු අමරසිංහ, ඩිලාන් බෝගොඩ සහ ෂෙලින්ඩා ජැන්සන් ලොව හොඳම දහ දෙනා අතරට පැමිණීමට සමත්වීම ද මෙහිදී කැපී පෙනෙයි.
ෂෙලින්ඩා තරම් ලයික් නොලැබුණ ද පාරමී, සනිරු, ඩිලාන් මේ තරගාවලියේ තරුගොන්නට එක්වූහ.
පාරමීට පසු තෙවැනි යොවුන් ඔලිම්පික් උලෙළේ ඉහළ දක්ෂතාව ප්‍රදර්ශනය කරන ලද්දේ සනිරු අමරසිංහ උස පැනීමේ ඉසව්වෙනි. උස පැනීමේ ඉසව්වේ පළමු අදියරේ මීටර් 2.05 ක් සටහන් කරගත් සනිරු දෙවැනි අදියරේ මීටර් 2.14 ක් සටහන් කර ගැනීමට සමත්විය. සමස්ත තරගයේ හතර වැනියා වීමට සමත් වූයේ මීටර් 4.19 ක් සටහන් කර ගනිමින් ය. ආසියානු කලාපීය තෝරා ගැනීමේ තරගයේ මීටර් 2.14 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රිදී පදක්කම දිනාගැනීමට ද සමත්විය. ආසියානු තෝරාගැනීමේ තරගයට 19 ක් ඉදිරිපත් විය.
ඩිලාන් බෝගොඩ මීටර් 400 ඉසව්වේ පළමු අදියර සිය හොඳම කාලය වාර්තා කර ගනිමින් තත්පර 48.52 කදී පස්වැනි ස්ථානය ද, දෙවැනි අදියරේදී තත්පර 48.61ක කාලයක් වාර්තා කර ගනිමින් හත්වැනි ස්ථානය හිමි කරගත්තේ ය. ඩිලාන් සමස්ත තරගයේ විනාඩි 01.37.33 ක කාලයක් සටහන් කරගැනීමට සමත් විය. ආසියානු කලාපීය තරගයේදී තත්පර 48.58 ක කාලයක් සටහන් කරගනිමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත්විය.
ෂෙලින්ඩා ජැන්සන් මීටර් 200 ඉසව්වේ පළමු අදියරේ තත්පර 25 කින් තරගය නිම කරමින් 11 වැනි ස්ථානය සහ දෙවැනි අදියරේ සිය හොඳම කාලය එනම් තත්පර 24.07 කින් තරගය නිම කරමින් 9 වැනි ස්ථානය හිමිකර ගත්තේ ය. ඒ අනුව සමස්ත තරගයේ වාර්තා කරගත් තත්පර 49.07 ට අනුව ෂෙලින්ඩාට හිමිවූයේ නවවැනි ස්ථානයයි. ආසියානු තේරීම් තරගාවලියේ ෂෙලින්ඩාට හිමි වූයේ හතරවැනි ස්ථානයයි. කාලය තත්. 25.50 කි.
මීටර් 200 ඉසව්ව සඳහා ලෝකයෙන් 24 දෙනකු සුදුසුකම් ලබා ගත්හ. මහද්වීපික කාලය මට්ටමින් ගත් කල අප්‍රිකාවෙන් එක් අයකු, ඇමෙරිකාවෙන් හත් දෙනකු, ආසියාවෙන් සිවුදෙනකු, සමුද්‍රාසන්න කලාපයෙන් එක් අයකු ය. යුරෝපයෙන් හය දෙනකි. ආසියානු කලාපයෙන් සිවුදෙනකුට අවස්ථාව හිමිවීමේ පදනම මත ෂෙලින්ඩාට මේ තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමි විය.
පාරමී මීටර් 2000 බාධක දිවීමේ තරගයේ සිය හොඳම කාලය විනාඩි 6.33.06 ක් වාර්තා කර ගනිමින් තෙවැනි ස්ථානය දිනාගත් අතර, තෙවැනි අදියරේ පැවැති කිලෝ මීටර් හතර මැරතන් තරගය විනාඩි 13.47කින් නිමකර ගනිමින් 17 වැනි ස්ථානය සහ මීටර් 2000 බාධක ඉසව්වේ ක්‍රීඩිකාවන් අතර සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූවා ය. ඒ අනුව සමස්ත තරගයේ හත්වැනියා වූ පාරමීට තරග කාල ගණනය අනුව මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය.
ආසියානු කලාපීය තෝරා ගැනීමේ තරගාවලියේ පාරමී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කලාපීය සහභාගිත්ව පදනම අනුව මීටර් 2000 බාධක දිවීමේ තරගයට ආසියාවෙන් සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකි.










