මැස්සෙක්වත් අල්ලන්න බැරි තරමට අපේ ක්‍රීඩා නීතිය අරාජිකයි | සිළුමිණ

මැස්සෙක්වත් අල්ලන්න බැරි තරමට අපේ ක්‍රීඩා නීතිය අරාජිකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාගය සඳහා ICC මේ වන විට කටයුතු යොදා තිබේ. ICC දූෂණ වි‍රෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙන අතර ඔවුහු මේ වන විට විවිධ පැති ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදු කර තිබෙන තරග පාවාදීම් පිළිබඳ කරුණු විමර්ශනය කරමින් සිටිති. පසුගිය දින කිහිපයේ ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කර තිබේ.

මුදලට තරග ‍පාවාදීම වැළැක්වීමේ කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා පැවැති පාලන සමයේ කමිටුවක් පත් කරන ලද අතර, එහි ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දයි. හිටපු ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික, ක්‍රීඩා නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද සමඟ කළ කතා බහකට අපි මේ ඉඩකඩ වෙන් කළෙමු.

අපේ රටේ නීති රාමුව තුළ තරග පාවාදීම්වලට, කොටින්ම තරගයක් ඇතුළත සහ පිටත සිදුවන කිසිම තරග පාවාදීමකට (ක්‍රීඩාංගණ තුළ පවා) එරෙහිව නීතිමය පියවර ගැනීමට නීති කෙටුම්පත් හෝ නීති සම්පාදනය වෙලා තිබෙනවාද කියලා බැලුවොත් පැහැදිලිවම එහේම නීතිමය තත්ත්වයක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ‍. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයාව ඉන්න කොට 2013 දී කමිටුවක් පත් කළා. තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පතක් හදන්න. ඒ 2013 දී අගෝස්තු 10 දා තමයි මේ කමිටුව පත් කළේ. සභාපති වුණේ අනුර ජයවික්‍රම, ලේකම් විදියට මම කටයුතු කළා. සෙසු සාමාජිකයන් විදියට ක්‍රීඩාව සම්බන්ධයෙන් හසළ දැනුමක් තියෙන අය මේ කමිටුවේ හිටියා‍.

නිශාන්ත රණතුංග, අසංග සෙනෙවිරත්න, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, ඉන්ටර්පෝල් ආයතනයේ අධ්‍යක්ෂ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් මේ කමිටුවේ හිටියා.

කමිටුවේ උපදෙස් එක්ක අපි පනතක්, එහෙම නැත්නම් කෙටුම්පතක් හැදුවා. මේක අපිට සම්මත කරන්න බෑ. අපි මේක නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. 2014 නීතිපති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් නිලධාරි සහ සහකාර නීති කෙටුම්පත් නිලධාරීන්ගේ අත්සනින් අපි යවපු කෙටුම්පත ගැන සාකච්ඡා කරන්න ලිපියක් ලැබෙනවා. 2015 ජනවාරියෙන් පසු අමාත්‍යංශය වෙනස් වෙනවා. එතැන ඉඳලා තමයි මේ මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පත යට යන්නේ. එක් පිටපතක් මගේ ළඟත් තිබෙනවා.

අපි මේ කෙටුම්පත හදන කොට ICC ආචාර ධර්ම, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් ප්‍රඥප්තිය, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ අනිකුත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සම්මේලනවල නීති රීති - ආචාර ධර්ම මේ සියලුම දේවල් අධ්‍යයනය කරලා තමයි අපි අපේ රටට ගැළපෙන විදියට මේ කෙටුම්පත හැදුවේ.

මේකේ ඊළඟට වෙන්න ඕනෑ දේ තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම, කැබිනට් එකේ අනුමත වුණාට පස්සේ තමයි පාර්ල‍ිමේන්තුවේ ලේකම්වරයාට ඉදිරිපත් කරලා තමයි සාම්ප්‍රදායික විදියට අනුමත වෙන්න ඕනෑ. මොනයම් හෝ හේතුවකට හරි අදෘශ්‍යමාන බලවේගයක්, හස්තයක් විසින් මේක නතර කරලා තිබෙනවා. එහෙම නැත්නම් යට ගහලා තියෙනවා. මේකට මෙහෙම වුණේ ඇයි? කවුද කළේ කියන එක මට අදටත් හිතාගන්න බෑ.

ඉතාමත් සාධාරණ සැකයක් තියෙනවා. එදාත් තරග පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. එදා අපට මෙය වළක්වන්න නීතියක් තිබුණේ නෑ. ඒ ‍නිසා තමයි මේක අත්‍යවශ්‍ය කටයුත්තක් විදියට සලකලා මේ මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පතක් හදන්න වැඩ කළේ. මේ මුදලට තරග පාවාදීම් කියන එක ක්‍රිකට් වලට විතරක් නෙවෙයි අනිත් ක්‍රීඩාත් මෙය ගිලගෙන තියෙනවා. තරගයක යම් අවස්ථාවක් උපයෝගි කරගෙන උදාහරණයකට ක්‍රිකට් තරගයක තුන් වැනි පන්දු වාරයේ ‍තුන්වැනි පන්දුව වයිඩ් හෝ නිපන්දුවක් දානවා කියලා ඔට්ටු අල්ලලා රුපියල් මිලියන ගණන් එහා - මෙහා කරගන්නවා. ක්‍රීඩාව කියන්නේ උත්තරීතර දෙයක්. මේකට පටහැනිව කටයුතු කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධීයි. අද මේ දේ අපේ විතරක් නෙවෙයි ලෝකයේ හුඟක් ක්‍රීඩාවලට මරු පහරක් වෙලා තියෙනවා.

අද ක්‍රිකට් ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 ක් තියෙනවා. මේ රටවල් 12 න් අන්ත දූෂිතම රට විදියට අපි නම් වෙලා ඉවරයි. 1982 ටෙස්ට් වරම් දිනාගත් තැන ඉඳලා 96 ක්‍රිකට් ලෝක කුසලානය, 2014 විස්සයි 20 ලෝක කුසලානය දිනූ තැනට අපේ රට ලොකු කැප කිරීමක් කරලා ඇවිත් තියෙන්නේ. අපට පොදුවේ හැම ක්‍රීඩාවකින්ම දක්ෂයෝ ඉන්නවා. එහෙත් අද ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉහළම තැනක් තියෙනවා. තේවලට අමතරව අපේ රට ගැන ඉහළින් ම කතා කරන අනිත් දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව. මේවා විනාශ කරගන්න හොඳ නෑ. ක්‍රීඩා ආර්ථිකයක් ක්‍රිකට් හරහා ලෙහෙසියෙන් ම ගොඩ නගන්න පුළුවන්.

2013 අපි ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හැදුවා. අද ක්‍රීඩා අමාත්‍යාංශයෙත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැතුව ඇති. අපි ඒක ගැසට් කළා. කරුණු කාරණා 46 කින් සමන්විත වෙනවා. මේක පාර්ලිමේන්තුවේ සභා සම්මත වෙච්ච එකක්.

අද අපට ලෝක ශූරයන් විදියට කතා කරන්න ඉතිරි‍ වෙලා තියෙන්නේ කැරම් ක්‍රීඩාව විතරයි. ක්‍රීඩා සංගම්, සම්මේලන 64 ක් අපට තියෙනවා. ක්‍රීඩාවට ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත් කළා. මේ ඇතුලේ තමයි විශේෂයෙන් මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පත තහනම් උත්තේජන නිවාරණ පනත, ක්‍රීඩා විනිශ්චය සභාවක්, තේරුම් කාරක සභාවක් ස්ථාපිත කිරීම වගේ ක්‍රීඩාවට ඕනෑ කරන හැම දෙයක් වගේ ඇතුළත් කරලා මේ දේ කළේ. හරි නම් අද ක්‍රීඩා අමාත්‍යාංශය මේක ඉදිරියට ගන්න ඕනෑ. මේක ඉදිරියට ගන්න ඕනෑ වෙලාවේ ක්‍රීඩා අමාත්‍යාංශය කරලා තියෙන්නේ මොකක්ද? මේක කුණු කූඩයට දාලා තියෙන්නේ. මේක සම්මත කරගෙන තිබුණා නම් මුදලට තරග පාවාදීම් ගැන චෝදනා එල්ල වෙන්නේ නෑ. මේ නීතිරීති ගෙන ඒම ජාතික ප්‍රතිපත්තියක් කියන එක හැම කෙනෙක් දැන ගන්න ඕනෑ. විශාල ප්‍රචාරයක් දෙන්න ඕනෑ දෙයක්. ක්‍රීඩා පිරිසුදු කර ගන්න ඕනැ. දූෂිතයන්ගෙන්, ඔට්ටුකාරයන්ගෙන්, සුදු බූවල්ලන්ගෙන්, බුකිකාරයන්ගෙන් ඉවත් කරලා සර්ව සාධාරණ ක්‍රීඩාවක් පවත්වා ගෙන යන්න ඕනෑ. ඇති කරන්න ඕනෑ.

අපේ ර‍ටේ ඔට්ටු ඇල්ලීම වැඩිපුරම තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. අපි ක්‍රීඩාව අතින් ජාත්‍යන්තරයේ ඉහළින් ම ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ. ඒත් අද ඇෆ්ගනිස්ථානයටත් පරදිනවා. මේක හරි අවාසනාවන්ත තත්වයක්. අපේ ක්‍රිකට්වලට අවුරුදු 175 කට වඩා ඉතිහාසයක් තියෙනවා. අපිට ඉදිරියෙන් ආසියාවේ ඉන්නේ ඉන්දියාව. එතරම් ඉහළින් හිටපු අපි අද කඩා ගෙන වැටෙනවා. මේකට හේතු හොයන්න ඕනෑ, සංගම් දූෂිත වෙන කොට, පාලකයෝ දූෂිත වෙන කොට ඔක්කෝ ම නෙවෙයි සමහර අය. අද මේ සංගම්වල බුකිකාරයෝ ඉන්නවා. ජාත්‍යන්තරයේ ඔට්ටු තබන්නන් මෙයට සම්බන්ධ වෙලා ඉන්නවා. තරග පාවාදීම වැළැක්වීමේ පනතක් සම්මත කර ගත්තේ නැත්නම් තව තවත් විනාශ වෙනවා. අද වෙනකොට ICC නිලධාරින් ලංකාවේ ක්‍රිකට්වල දූෂිත ගනුදෙනු ගැන හොයා ගෙන යනවා. ඔවුන්ට කරුණු ඔප්පු වෙලා තියෙනවා.

ඔය කවුරු මොන කතා කිව්වත් මැස්සෙක්වත් අල්ලන්න බෑ. ක්‍රීඩකයන්ට ICC දඬුවම් දෙන්න පුළුවන්. හැබැයි ඔට්ටු අල්ලන්න අපේ රටට විදේශීය රටකින් ආපු සූදු කාරයෝ අත්අඩංගුවට ගන්න අපේ රටේ නීතියක් නෑ. අපි මේ නීතිය සම්මත කර ගන්න තමයි වැඩ කළේ.

මේ නීතිය සම්මත කර ගෙන ක්‍රියාත්මක වෙනවා නම් ඕනෑ ම ඔට්ටු අල්ලන්නෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. නීතිය තියෙනවා නම් ලංකාවේ දේශ සීමාව ඇතුළේ තරග පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ පනත ගෙනාවා නම් මේ ගැටලු මතු වෙන්නේ නෑ. අද අපේ මුදලට තරග පාවාදීම වැළැක්වීම සම්බන්ධයෙන් නීතියක් නෑ. මේක ඉතාමත් භයානක සහ අවදානම් තත්වයක්. ඉන්දියාව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් මුදලට තරග පාවාදීම වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්න ඕනෑ. තහනම් උත්තේජන නිවාරණ පනත ගේන්න ඕනෑ කියලා ඔවුන් පැහැදිලිවම කිව්වා. අද මේ ඔට්ටු ඇල්ලීම් කරන්නේ ඩොලර් මිලියන සහ බිලියන ගණන්වලින්. අද දිනන්න ඕනෑ අය පරදිනවා. පරාජිත අය දිනනවා. 2014 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමුළුවේදි තමයි මේ තීන්දුව ගත්තේ. මම නීති උපදේශක විදියට මේ සමුළුවට ගියේ.

මේ පනත ක්‍රියාත්මක වෙනවා නම් ආධාර සහ අනුබල දෙන අයත් වැරැදිකාරයෝ වෙනවා. අවුරුදු පහක සිර දඬුවමකට ‍‍හෝ රුපියල් ලක්ෂ පහේ ඉඳලා පනහ දක්වා දඬුවමකට ලක් කරන්න පුළුවන්.

ක්‍රීඩා ඇමැතිතුමා මේ දවස්වල කියනවා ඉතා භයානක තරග පාවාදී‍මේ චෝදනා එල්ලවීම හමුවේ තරග පාවාදීමට විරුද්ධව නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරනවා කියලා.

මොන බොරු ද? අලුතින් දෙයක් හදන්නවත් සම්පාදනය කරන්නවත් නෑ. එතුමා දන්නේ නෑ මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පතක් හදලා තියෙනවා කියලා. ඇත්තට කණගාටුයි. එතුමා තාමත් අඳුරේ අතපත ගානවා. මේක තමයි දුක්ඛිත ම තත්ත්වය. ජාතික ක්‍රීඩා පනතේ ජාතික ක්‍රීඩා සභාවක් තිබෙනවා. ඒ කියන්නේ උපදේශක කමිටුවක්. ඉතින් මේ කමිටුවත් පත් කරලා නෑ. ක්‍රීඩා පස්සට යන්නත් මේක හේතු වෙලා තියෙනවා. අද මගේ ළඟ තියෙන්නේ මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පතේ පොටෝ කොපියක්. නීතිපති දෙපාර්තමේන්තුවේත්, නීති කෙටුම්පත් සම්පාදන මණ්ඩලයේත් මුල් පිටපත් තියෙන්න ඕනෑ. ක්‍රීඩාවේ අලුත් ම ප්‍රවණතාව තමයි උත්තරීතර භාවය රකින්න ඕනෑ කියන දේ.

අල්ලස් හෝ දූෂණ පනතේ විෂය පථයේ මේක වරදක් නෙවෙයි. ඒ යටතේ තිබෙන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, අධිකාරි, සංස්ථා නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව විතරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ එහි සේවකයන්ට මේ යටතේ කටයුතු කරන්න බෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විෂය පථයට අයිති නැති නිසා. ICC ආචාර ධර්මවලට යටත් නම් තරග තහනම් කරන්න පුළුවන්. සිර දඬුවම් දෙන්න බෑ.

තෑගි මුදල් කපා හරින්න, ජීවිතාන්තය දක්වා තරග තහනම් කරන්න පුළුවන්. විනයානුකූලව දඬුවම් දෙන්න පුළුවන්. අධිකරණවලින් දඬුවම් දෙන්න බෑ,

අවාසනාවට අපේ රටේ විතරයි මේ නීතිය නැත්තේ. අනිත් හැම රටකම මුදලට තරග පාවාදීම වැළැක්වීම සම්බන්ධ නීති තියෙනවා. හුඟක් රටවල් පනතක් විදියට සම්මත කරගෙන තියෙන්නේ. මේක මේ අපේ රටට විතරක් ගේන එකක් නෙවෙයි. ඉස්සර තහනම් උත්තේජක භාවිතයක් අපේ රටේ තිබුණා. හැබැයි තහනම් උත්තේජක නිවාරණ පනත ගෙනාවට පස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජන භාවිතය නතර කළා. නීති රාමුවක් තිබෙනවා නම් දඬුවම් තියෙනවා නම් මිනිස්සු වැරැදි කරන්නේ නෑ. අද ක්‍රිකට් ක්‍රීඩාවේ නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන් පසුබිමක් නෑ.

නිවාරණ නීතිය ඉවත් කරලා තියෙන්නේ. මේ නිසා වෙන්නේ බුකීකාරයන්ට, ඔට්ටු අල්ලන්නන්ට, පාවා දෙන්නන්ට අපේ රට පාරාදීසයක් වෙන එකයි. අනික් අතින් අපේ රටට ඕනෑ කෙනෙකුට ඇවිත් ඕනෑ හොර වැඩක්, වංචාවක්, දූෂණයක් කරලා නිදහසේ යන්න පුළුවන්.

ඉන්දීය - පාකිස්තානු ඔට්ටු කාරයෝ බුකීකාරයෝ කී දෙනෙක් පැනලා ගිහින් තියෙනවා ද? පාස්පෝට් එකක් තහනම් කරන්න තියා අල්ලන්නවත් බෑ, මේක හරිම විහිළුවක්. මේ කල් මැරීමක් කරන්නේ. මුදලට තරග පාවාදීම වැළැක්වීමේ කෙටුම්පත නීත්‍යනුකූල කරගැනීම තමයි කරන්න තියෙන්නේ.

මේ විදියට ගියොත් ICC තරග තහනම් කිරීම, මුදල් ලබාදීම් අහෝසි කිරීම්, මේවා හදා ගන්න දින වකවානු ලබාදීම හෝ ටෙස්ට් තත්ත්වය පවා නැති කරන්න පුළුවන්. අතීසාරයට අමුඩය ගහලා වැඩක් නෑ. ලෙඩේට බෙහෙත් දෙන්න ඕනෑ.

ඡායාරූපය - විපුල අමරසිංහ

Comments