ආසියානු ගිය රොත්තට පැරා කණ්ඩායමෙන් සුපිරි පාඩමක් | සිළුමිණ

ආසියානු ගිය රොත්තට පැරා කණ්ඩායමෙන් සුපිරි පාඩමක්

 ආසියානු පැරා ක්‍රීඩා උ‍ෙලළ

ආසියානු ක්‍රීඩා උලෙළට මෙවර ශ්‍රී ලංකාවෙන් විශාල කණ්ඩායමක් සහභාගි වූහ. එහෙත් එහිදී ඔවුනට කිසිදු පදක්කමක් හෝ හිමි කර ගැනීමට හැකි වුයේ නැත.

2018 ආසියානු පැරා ක්‍රීඩා උලෙළ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඊයේ (13) නිමාවට පත් විය. ඊටත් ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි විය. එපමණක් ද නොව විශාල කීර්තියක් අත්කර දීමටත් ඔවුහු සමත් වුහ. ඒ ක්‍රීඩා උලෙළ ඇරඹි මුල් දින කිහිපය තුළදී පමණක් රන් 03, රිදී 04 සහ ලෝකඩ 03 ක් සමඟ මුළු පදක්කම් 10 ක්ම හිමි කර ගනිමිනි.

ඉහත සියලුම පදක්කම් ඔවුන් හිමි කර ගත්තේ මලල ක්‍රීඩාවෙනි. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වී කිසිඳු පදක්කමක් හිමි කර ගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම ආදර්ශයක් වීමට මෙම පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වී සිටිති.

මෙවර පැවැත්වූයේ තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උලෙළයි, ඒ ඔක්තෝබර් 06 සිට 13 දක්වාය. ඒ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීය. ආසියානු පැරා කමිටුවේ සියලුම සාමාජික රටවල් ගණන (43) මෙවර ඊට සහභාගි විය. භූතානය සහභාගි වූයේ ප්‍රථම වරටයි. උතුරු සහ දකුණු කොරියාව ඇතැම් ක්‍රීඩාවලදී ඒකාබද්ධව තරග කළහ.

මෙවර ක්‍රීඩා උලෙළට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකා පිරිස 2831 කි. පැවැති ක්‍රීඩා ගණන 18 කි. ඉසව් 515 කි. තරග පැවැති ප්‍රධානතම ක්‍රීඩාංගණය වූයේ ජිලෝරා බූන්ග් කාර්නෝය.

මෙවර වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූ රට වූයේ ජපානයයි. ඒ 303 කි. සත්කාරක ඉන්දුනීසියාව 295 , තායිලන්තය 237, චීනය 232, ඉරානය 210, ඉන්දියාව 193 සහ මැලේසියාව 139 ක් ලෙස මෙවර සහභාගි වූහ.

ඔක්තෝබර් මස 09 වැනි දින නිමා වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණේ සිටියේ ආසියානු ක්‍රීඩා බලවතා වන චීනයයි. ඒ රන් 78, රිදී 36 සහ ලෝකඩ 29 ක් සමඟ මුළු පදක්කම් 143 ක් හිමි කර ගනිමිනි. දෙවන ස්ථානය දකුණු කොරියාවටයි. ඒ 24-21-12 =57ක් වශයෙනි. උස්බෙකිස්තානයට තෙවැනි ස්ථානයයි. ඒ 18-09-05=32කි. සිවු වැනි තැන ජපානයටයි. ඔවුනට 17-31-37=85 කි.

මෙහිදී දකුණු ආසියානු කලාපයෙන් පදක්කම් හිමි කර ගෙන මුල් ස්ථාන 15 අතරට එක්ව සිටියේ දෙරටක් පමණි. ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ඉන්දියාවට 09 වැනි ස්ථානයයි. ඒ 06-09-13 =28 වශයෙනි. ශ්‍රී ලංකාවට 14 වැනි තැනය.

ශ්‍රී ලංකා දස්කම්

ශ්‍රී ලංකාව හිමි කර ගත් රන් පදක්කම් ද්විත්වයක් පිරිමි කෙටි දුර ධාවන ඉසව්වලදීය. ඒ අමිල ප්‍රසන්න වර්ණකුලසුරිය විසිනි. මෙම ද්විත්ව ඉසව්වලදී පිරිනැමු පදක්කම් 06 ම ශ්‍රී ලංකාවට හිමි වීම විශේෂත්වයකි.

මීටර් 100 (T42 /63)

1.අමිල ප්‍රසන්න

2.උපුල් ඉන්දික

3.සුරංග බණ්ඩාර

මීටර් 200 (T42 /63)

1.අමිල ප්‍රසන්න

2.උපුල් ඉන්දික

3.චරිත බුද්ධික

පිරිමි දුර පැනීමට (T44/61/63)

චරිත බුද්ධික රන් පදක්කමක් සහ පිරිමි උස පැනීමේ (T44/64) ලාල් පුෂ්ප කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ සෙසු රිදී පදක්කම් හිමි කර ගත්තේ අමරා ඉන්දුමතී සහ සම්පත් චමින්ද හෙට්ටිආරච්චිය.

අමරා කාන්තා දුර පැනීම (T45/46/47) ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගත්තේ මීටර් 4.62ක් වාර්තා කරමිනි. එම තරගය ජය ගත්තේ උස්බෙකිස්තානයේ කමොලාකොන් අබ්දුලායේවාය. ඇගේ දස්කම් මීටර් 4.71 කි.

පිරිමි හෙල්ල විසි කිරීම (F42 – 44/61-64) ඉසව්වෙන් සම්පත් අනෙක් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය. එහිදී ඔහුගේ දක්ෂතාවය මීටර් 59.32 කි. එහිදී සිවුවන ස්ථානයත් ශ්‍රී ලංකාවේම සමිත දුලාන්ටය. ඔහුගේ දස්කම මීටර් 58.38කි. මෙහි රන් පදක්කම ඉන්දියාවේ සන්දීප්ටය. ඔහුගේ දක්ෂතාව මීටර් 60.01කි. එය ලෝක වාර්තාවකි.

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ දී මලල ක්‍රීඩාවෙන් මුල් දින කිහිපය තුළදී පිහිටු වූ නව ලෝක වාර්තා ගණන 05කි.

ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර

Comments