
ලාංකේය ක්‍රීකට් ක්ෂේත්‍රයම උඩුයටිකුරු වෙමින් පවතියි. එක් අතකින් අසාමාන්‍ය තරග පරාජයන්ය. මෙකී පරාජයන් හමුවේ නැගෙන ප්‍රබලම චෝදනාව වන්නේ තරග පාවාදීමයි. මේවා නිකම් ම නිකම් මතු වූ කරුණු නොවේ. ඒ නිසා ම තරග පාවාදීමේ චෝදනාවන් පිළිබඳ එල්ල වෙමින් පවතින කතාබහද උත්සන්න වෙමින් පවතියි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ ඉතා භයානක වාතාවරණයක් පවතින්නේ යැයි අයි.සී. සී. තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. තරග පාවාදීමේ චෝදනා විභාගය සඳහා අයි.සී.සී. විමර්ශන නිලධාරින් මෙරටට පැමිණියේද අහම්බෙන් නොවේ. ඒ දිගුකාලිනව කරන ලද විමසීම්වලින් අනතුරුවය. ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව එල්ල වි ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා අයි.සී.සී. දූෂණ විරෝධි ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් විසින් ගෙන හැර දක්වන ලද කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා උක්ත ප්‍රකාශය කළේය.
තව දුරටත් පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බව පවසන මාෂල් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට සවිස්තර වාර්තාවක් ලබා දුන් බවද පවසයි. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මාෂල් ලබා දුන් වාර්තාවේ අන්තර්ගතය හෙළි කළ නොහැකි නමුත් කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කර නොමැති බවයි. ඉතා භයානක තරග පාවාදීමේ චෝදනා එල්ල වීම හමුවේ තරග පවාදීමට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට තමන් කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා, අයි.සී.සී. ආයතනයෙන් ක්ෂණික සහාය ලබා ගන්නා බව ද පවසයි.
අන්තර්ජාතික විකාශන අයිති ලබාදීම මඟින් ඉපැයු මුදල් අයුතු පරිහරණයට දැරූ ප්‍රයත්නය සහ මීට පෙර අල්ජසීරා වාර්තාමය චිත්‍රපටය තුළින් සිදු කළ හෙළිදරව් ආදිය ඇතුළත්ව ශ්‍රීලංකා ක්‍රිකට් වෙත බරපතල චෝදනා එල්ල වී තිබේ. ඒ නිසා දැනට සිදුවන විමර්ශන කටයුතු වඩාත් ශත්තිමත් කිරීමට සහ වගවීමේ ක්‍රියාවලිය සහතික කිරීම උදෙසා අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මෙරට තුළ අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සමීපව කටයුතු කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
තරග පාවාදී ඇති බවට වැරදිකරුවකු වන අයකුට, ක්‍රීඩාංගණය බාර අයකුට ආයතනික මට්ටමින් තරග තහනම් පැනවීමට ගිවිසුම් අත්හිටුවීමට හැකියාව තිබෙන නමුත් බුකිකරුවන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට නීතිමය පසුබිමක් නොමැති බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද අවධාරණය කළේ මීට කලකට පෙරය. කොහොම පරීක්ෂණ කළත් බුකිකාරයෝ බේරෙනවා. ඒ අයට එරෙහිව කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බෑ. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමට හෝ අඩුම තරමේ පාස්පෝට් තහනම් කිරීමට හෝ නඩු පැවැරීමට බලයක් නෑ.
මුදලට තරග පාවාදීම වැළැක්වීමේ පනතක් සම්පාදනය කිරීම සඳහා ඉකුත් පාලන සමයේ පත් කරන ලද කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ලද්දේ ද නීතිඥ පණ්ඩුක කිර්තිනන්දය. තරග පාවාදීම සම්බන්ධයෙන් සිය කමිටුව විසින් සකසන ලද එම යෝජනා මාලාව ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දීමට කටයුතු කළත් 2015 ආණ්ඩු පෙරළියත් සමඟ එකී පනත යට ගසා ඇති බවට කීර්තිනන්ද චෝදනා කරයි.
ලසිත් මාලිංග මීට ඉහත දී ක්‍රීඩා බලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී බොහෝ අවස්ථාවල කණ්ඩායම ඉල්ලා සිටින තණ තීරු වෙනුවට වෙනත් තණ තීරු ලබාදීම පිළිබඳ දීර්ඝ විස්තරයක් කළේය. මෙකී ප්‍රකාශය පසුගිය කාලයේ මාලිංගගේ ක්‍රීඩා දිවියට කණකොකා හැඬීමට ද හේතු වූ බව ප්‍රසිද්ධ රහසකි.
මේ අතරම නොවැම්බර් 6-10 ට ගාල්ලේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - එංගලන්ත ප්‍රථම ටෙස්ට් තරගය පාවාදීම සැලසුම් කර ඇතැයි කියවෙන පුවතක් ද ක්‍රිකට් ලොවම ගිනි ගත්තේය. ඒ තණතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙනි. මේ චෝදනාව කරළියට පැමිණීමත් සමඟ තණ තීරුව සහ විකට්ටුව සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට බලධාරීහු පසුව කටයුතු කළහ.
කරුණු කාරණා වසන් කිරීමට, රහස්‍යභාවයන් සුරැකීමට කවුරු කෙසේ වැර දැරුව ද මේ වන විට අයි.සී.සී. රහස් ද සමාජගත වී අවසන්ය. ක්‍රීඩා අමාත්‍යවරයා ඇලෙක්ස් මාෂල් ලබාදුන් වාර්තාවේ කිසිවකුට ඇඟිල්ල දිගු වී නොමැති බව ප්‍රකාශ කළද, ගෙඩි පිටින් සමාජගත වී ඇති ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න නොදනිමු. ඉතා භයානක තරග පාවාදීමේ චෝදනා එල්ල වීම පමණක් නොව, එකී කරුණු කාරණා පරික්ෂණ අවසන් වීමට පෙර සමාජගත වීම ද ඊට වඩා භයානක බව අවධාරණය කළ යුතුය.










