රට පුරා සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් | සිළුමිණ

රට පුරා සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක්

2018 ජාතික පාසල් ක්‍රීඩා උලෙළ

මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩාව නැංවීම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට ප්‍රධාන පාසල්වලට සමගාමීව අනෙකුත් පාසල් වලද දරු දැරියන්ගේ ක්‍රිඩා කෞශල්‍ය වැඩි දියුණු කිරීමේ අවස්ථා එමගින් උදාවන බව 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි‍ වෙමින් උලෙළ ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය තුමා සදහන් කළේය.

ක්‍රීඩා ඉසව් 28ක් වෙනුවෙන් මුළු දිවයිනම නියෝජනය කරමින් පාසල් 2500ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් 6000කගේ පමණ සහභාගීත්වයෙන් 2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර මලල ක්‍රිඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

එහිදි උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය තුමා පවසා සිටියේ දිවයිනේ සියලු පාසල්වලට ක්‍රීඩා පහසුකම් සැලැසීම සඳහා නව ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කරන ලෙස අධ්‍යාපන ඇමතිවරයාට උපදෙස් දුන් බවයි.

“පසුගිය දා නිමාවට පත්වු ආසියානු ක්‍රීඩා ‍උලෙළට ශ්‍රී ලංකාවෙන් විශාල පිරිසක් සහභාගී වුණා එත් අපට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුණා. නමුත් ඉදිරියේදී අපි සහභාගීත්වයට පමණක් සීමා නොවී පදක්කම් දිනාගන්නා වැඩපිළිවෙළකට යන්ට ඕනෑ. මේ රටේ ක්‍රීඩාව දියුණු කරන්නට නම් අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශ එකට එකතු කර එකාබද්ධ කොට කමිටුවක් හදාගෙන ගමනක් යා යුතුයි.

දක්ෂයන්ට පහසුකම් වැඩි කිරිමේ අරමුණ ඇතිව අගමැති අරමුදලක් ඇති කොට තිබෙ‍නවා. බණ්ඩාරවෙල විද්‍යාපීඨයේ පහසුකම් දෙගුණයකින් වැඩිකොට තිබෙනවා. ඒ වෙනුවෙන් යටිතල පහසුකම් ලබාදීම අපගේ සැලසුමයි.

පාසල් තුළ විවිධ දක්ෂතා තිබෙන දරුවන් සිටිනවා. ඇතැම් අය විභාග ජයගෙන ඉදිරියට යනවා. කාර්මික, සෞන්දර්ය හා ක්‍රීඩාව තුළින් පාසල් දරුවන් දක්ෂතා පෙන්වනවා. ඒ දරුවන්ගේ හැකියාවන් නිසි ලෙස හඳුනාගෙන ඉදිරියට ගැනිමට අප කටයුතු කළ යුතුයි. එදා සමස්ත ලංකා පාසල් තරගාවලිය ආරම්භවී පැවැති ඒ යුගයට යා යුතුයි. එදා අප සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ හදුන්වා දීම තුළින් මෙරට පාසල් අවදියේ සිට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිවුණා. ක්‍රීඩාව තුළ ශීඝ්‍ර වර්ධනයක් ලැබූවා. ඒ නිසා පාසල්වලට ක්‍රීඩා පහසුකම් ඇති කරන්න ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා හදන්න අප කටයුතු කරනවා“ යයි අග්‍රාමාත්‍ය වරයා වැඩදුරටත් පාවැසීය.

නව අධ්‍යාපන ක්‍රමවේදය යටතේ සාමාන්‍ය පෙළ විභාගයේ වැඩ නමයම අසමත් වන අයටද උසස් පෙළ හැදැරීම සඳහා අවස්ථාව ලබාදෙන වැඩපිළිවළක් සකසන බව උත්සව සභාව ඇමැතු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

“එහිදී ඔවුන්ට වෘත්තිය නිපුණතාව මත පදනම්ව විෂයන් තෝරා ගනිමින් උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව හිමි වනවා.

1984 වසරේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය බිහි නොකරන්නට මෙරට පාසල් ක්‍රීඩාව මෙතරම් ප්‍රබෝධයක් ලබන්නේ නෑ. ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රාහණ ලැබූවන් 3850ක් ක්‍රීඩා පුහුණු කරුවන් ලෙස බදවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කොට තිබෙ‍නවා. එම පිරිස් කඩිනමින් බදවා ගැනීමට රජය කටයුතු කරනවා. සීමා මායිම් වලට එහා ගොස් සංවර්ධන කාර්ය ඉටුකිරීම අපේ සැලසුමයි“ අධ්‍යාපන ඇමැති තුමා වැඩිදුරටත් පැවැසීය.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 රන් පදක්කම් ලාභී අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශණ හා දකුණු ආසියා මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් හතරක් දිනාගත් මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා අතින් ක්‍රීඩා උලෙළේ ගිනිසිළුව දැල්වීම සිදු කෙරුණි. ක්‍රීඩා ප්‍රතිඥා‍ව කියැවිම කුරුණැගල මලිය දේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර විසින් සිදු කළේය.

34 වැනි සමස්ත ලංකා පාසල් තරගාවලි‍යේ පළමු තරග වාර්තාව ලෙස කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විදුහ‍ලේ ඩබ්ලිව්. කේ. හේෂාණි මහේෂිකා විසින් ආරම්භක දිනයේදීම වයස අවුරුදු 16න් පහළ කවපෙත්ත විසිකිරීමේ නව වාර්තාවක් පිහිටු විමට සමත් විය. ඇය මීටර් 38.98කට දුරක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කීවාය. පසුගිය වසරේදී මීට පෙර මීටර් 34.58ක දුරක් වාර්තා කරමින් ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාව ඒ අනුව බිද වැටිණි. මීටර් 33.81 දුරක් වාර්තා කළ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර විසින් දෙවන ස්ථානයද, මිටර් 24.49ක දුරක් වාර්තා කළ ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කළ යෙලනි පබසරා විසින් තෙවන ස්ථානයද එම ඉසව්වෙන් හිමි කර ගැනීමට සමත් වූහ.

ආරම්භක දිනයේ දෙවන තරග වාර්තාව වාර්තා වුයේ වයස අවුරුදු 12න් පහළ දුර පැනීමේ ඉසව්වෙනී. පාණදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ශිහාරා සඳමිණි සිල්වා මිටර් 4.89ක් වර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කීය. පසුගිය වසරේදී ඇය විසින්ම මීටර් 4.55ක් වාර්තා කරමින් තබා තිබූ වර්තාව ඒ අනුව බිද වැටිණි. පොලොන්නරුව මැදිරිගිරිය ජාතික පාසලේ තරුෂි ලුණුවිල මිටර් 4.58ක දුරක් වාර්තා කරමින් දෙවැන්නා වු අතර කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රී අරුනවි මීටර් 4.53දුරක් වාර්තා කරමින් 12න් පහළ දුර පැනීමෙන් තෙවන ස්ථානය දිනා ගත්හ.

වයස් කාණ්ඩ හතරකට අයත් බාලක බාලිකා ඉසව් 114කින් සමන් විත 34 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනයේදී තවත් වාර්තා කිහිපයක් බිද වැටිනී. දෙවන දි‍නයේ සුවිශේෂම වාර්තාව වුයේ 2008 වසරේදී මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ අක්ෂනා මාරලන්ද විසින් මීටර් 100 දිවිමේ වයස අවුරුදු 16න් පහළ වාර්තාව, 2017 වසරේදී රාජගි‍රියේ ගේට්වේ විද්‍යාලයේ සදීපා හෙන්ඩර්සන් විසින් සමකර තබූ අතර එම වාර්තාව වසර 10කට පසු දෙහිවල ඇලිතියා ජාත්‍යන්තර පාසලේ දිනාරා බණ්ඩාර දෑල විසින් බිද හෙලිමට සමත් විමය. ඇය එම ජයග්‍රහණය සඳහා වාර්තා කළ කාළය තත්පර 12.65ක් විය.

සමස්ත ලංකා පාසල් තරගාවලියේ දින දෙකක් අවසානයේ තරග වාර්තා 14ක් බිද හෙළිමට සමත් විය. එයින් තරග වාර්තා 6ක් බාලක තරග වාර්තා වු අතර තරග වාර්තා 8ක් බාලිකා තරග වාර්තා විය.

Comments