ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණා | Page 2 | සිළුමිණ

ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණා

2018 රෙඩ්බුල් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක කුසලානය

ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවකි. එය වරින් වර තීරණාත්මක තරගවලදී තහවුරු වෙයි. දිනය සැප්තැම්බර් 29 වැනිදාය. ස්ථානය කොළඹ සිංහල ක්‍රීඩා සමාජය හෙවත් එස්.එස්.සී. ක්‍රීඩාංගණයයි. 2018 වසරේ රෙඩ්බුල් පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වූයේ එදිනයි.

මෙය 20 - 20 තරගාවලියකි. මෙවර එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ ප්‍රබල ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාවයි. මෙම තරගාවලිය ඇරඹෙන විට එහි ශූරතාව හිමිකර ගැනීමට ඉදිරියෙන් ම සිටි රට බවට පත්ව සිටියේත් ඉන්දියාවයි.

ඉන්දියාව මෙවර අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා සිටියේය. එම නිසාම ශූරතාව ඔවුන් හිමි කරගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ තමන්ගේ හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටියහ. අවසානයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව යළිත් වතාවක් තහවුරු කරමින් ශ්‍රී ලංකාව ශූරතාව හිමි කර ගැනීමට සමත් විය. ඒ අවසන් පන්දුවේදීය.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළේ වැල්ලවත්ත බී.එම්.එස්. හෙවත් ව්‍යාපාර කළමනාකරණ පාසලයි. අනුශූරයෝ වූයේ ඉන්දියාව නියෝජනය කරන ලද එම්.එම්.සි.සි. හෙවත් මාරාත්වාඩා මිට්‍රා මන්ඩාල් වාණිජ විද්‍යාලයයි. අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවටයි.

අවසන් තරගයේ කෙටි ලකුණු විස්තරය

ඉන්දියාව 211- 2 (ඕවර 20)

මුර්තාසා ෂබිර් නොදැවී 76 (පන්දු 48, 4 පහර 8, 6 පහර 2), යාෂ් නාහාර් 58 (ප. 45, 4 පහර 5, 6 පහර 2), දිව්යාන්ග් හින්ගෙකාර් නොදැවී 46 (ප. 21, 4 පහර 2, 6 පහර 4), ජනිත් ලියනගේ 44 - 1, දේවින්ද් පත්මනාදන් 45 - 1

ශ්‍රී ලංකාව 212 - 6 (ඕවර 20)

දිනෙත් තිමෝද්‍ය 54 (ප. 34, 4 පහර 6, 6 පහර 3), හෂාන් දුමිඳු 28 (ප. 25, 4 පහර 3), සුපේෂල ජයතිලක 29 (ප. 23, 4 පහර 3 , 6 පහර 1), රනිත ලියනආරච්චි නොදැවී 26 (ප. 14, 4 පහර 3, 6 පහර 1), කොෂාන් ධනුෂ්ක ජයවික්‍රම 21 (ප. 10, 6 පහර 3), රොහාන් දම්ලේ 30 - 4

“ඉන්දියාව තමයි ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා හිතුවේ. ඒ වුණත් අපේ ක්‍රීඩකයන්ගේ හැකියාව ගැන අපිට විශාල විශ්වාසයක් තිබුණා. ඉන්දියාවේ බැටිං හොඳයි. අපේ බෝලිං හොඳයි. කාසියේ වාසියත් අපි දින්නා. ඊට පසුව ඔවුන්ගේ ලකුණු සීමා කරන්නයි හිතුවේ.”

ශ්‍රී ලංකා නායක කොෂාන් ධනුෂ්ක ජයවික්‍රම ජයග්‍රහණයෙන් අනතුරුව පැවසීය. ‍

කෙසේ වෙතත් ඉන්දියාව ලකුණු 211 ක් රැස් කරමින් ප්‍රබල අභියෝගයක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය. “අපිටත් හොඳ පිතිකරුවන් සිටියා. ඒ නිසා හොඳින් සැලසුම් කරලයි ඉලක්කය කරා ගියේ. ඒ වගේ ම තණතීරුවත් හොඳට තිබුණා.” කොෂාන් පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඕවර 3 දී ලකුණු 50 - 60 ත් අතර ලබා ගත යුතුව තිබිණි. එය පසුව අවසන් ඕවරයේ දී ලකුණු 15 කි. අවසන් පන්දුවේදී ලකුණකි.

ශ්‍රී ලංකාව මෙම විශ්ව විද්‍යාල ලෝක ක්‍රිකට් ශූරතාව හිමිකර ගත්තේ දෙවැනි වතාවටයි. එහි මුල් ම ශූරතාව 2016 දීය. ගිය වසරේ අනුශූරතාවත් ශ්‍රී ලංකාවටයි. මෙම ත්‍රිත්ව අවස්ථාවන්හිදීම ශ්‍රී ලංකාව නියෝජනය කළේ බී.එම්.එස්. කණ්ඩායමයි. එම තරගාවලි ත්‍රිත්වයට ම කොෂාන් ක්‍රීඩා කර තිබේ.

2018 තරගාවලිය

මෙවර තරගාවලිය පැවැත්වූයේ සැප්තැම්බර් 23 සිට 29 දක්වාය. එහිදී තරග කොළඹ එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණවලදී පවත්වනු ලැබීය. රටවල් 06 ක් ඊට සහභාගි විය. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයයි. මෙවර පැවැත්වූයේ හයවැනි තරගාවලියයි.

මෙම රටවල් නියෝජනය කළ කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා ගත්තේ ඒ ඒ රටවල පැවැති අන්තර් විශ්ව විද්‍යාල තරගාවලි ජය ගනිමිනි. බී.එම්.එස්. කණ්ඩායම ඊට සුදුසුකම් ලැබුවේ මෙරටේ පුද්ගලික විශ්වවිද්‍යාල අතර පැවැති තරගාවලිය ජය ගෙනය. එහිදී කණ්ඩායම් 24 ක් තරග කළහ.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments