30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ඇඹිලිපිටියේ දී | සිළුමිණ

30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ඇඹිලිපිටියේ දී

මහවැලි ක්‍රීඩා ගීතය


මග පෙන්වන සුරු නායකයෝ අපි
ගුණැති නැණැති අනුගාමිකයෝ අපි
අනුනගෙ හදවත් හඳුනන්නෙමු අපි
එක ජය ටැඹකදි ජය ගන්නෙමු අපි

කෙළිඳෙළෙනි එකමුතු දමිනි
එකට බැදී ගිය සවිය අපි
තරගෙට තරගෙට දස්කම් එක්කර
මහවැලි සරුඵල නෙළමු අපි

මග පෙන්වන සුරු නායකයෝ අපි... //

එක අරමුණකින් නව නව ලොවකට
සාම‍ය සමගිය ගෙනෙමු අපි
ජය හා පැර අභියස නොසැලෙන
එකම හදින් එඩිතරය අපි

මග පෙන්වන සුරු නායකයෝ අපි ...//

සුවපත් සිරුරෙන් මිනිසත් ගුණයෙන්
නිරතුරුවම පොහොසත්ය අපි

මග පෙන්වන සුරු නායකයෝ අපි ...//

පදමාලාව - සුනිල් සරත් පෙරේරා
තනුව හා සංගීත නිර්මාණය - සරත් ප්‍රනාන්දු

ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍ය‍යට අපමණ අගයක්” යන තේමාව රැගත් 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 – 16 දෙදින ඇඹීලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

1986 වසරේදී එවකට මහවැලි අමාත්‍ය වරයා වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් මත මහවැලි ගම්මාන වල සිටින තරුණ තරුණියන් උදෙසා සංවිධානය කරන ලද මහවැලි ක්‍රීඩා උළෙල මේ වන විට මෙරට වාර්ෂික ක්‍රීඩා දිනපොතේ ප්‍රධානතම අංගයක් ලෙස ද සැලැකේ.

පසුගිය 06 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ කරන ලද මහවැලි ක්‍රීඩා ගිණිසිළුව රැගත් ප්‍රදර්ශන චාරිකාව මහවැලි ගම්මාන 111 ක් පසුකරමින් 15 වැනි දා ඇඹීලිපිටිය මහවැලි ක්‍රීඩාංණයට ලගා විමට නියමිතය.

කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට එක් වු ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ අධ්‍යක්ෂ ‍ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ. 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල අති සාර්ථක තරගාවලියක් ලෙස පැවැත් විමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බවයි. ඩ‍යලොග් අසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව මෙවර තරගාවලිය පැවැත්වෙන බවයි.

අති දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් වන මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඒ ඒ කලාප වල පදිංචි කරවා ඇති ජනපදිකයන් ප්‍රමාණයද අති විශාලයි. මහවැලි ව්‍යාපාරය යටතේ ඒ ප්‍රජාවේ ආර්ථික සමෘද්ධිමත් භාවය පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සමාජ, සංස්කෘතික ප්‍රවර්ධනය පිළිබඳව ද නිරන්තරයෙන් අවධානය යොමු කරන අතර එහි එක් පියවරක් වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන මහවැලි ක්‍රීඩා උළෙල හැදින්විය හැකි බවයි. මහවැලි ජනපදිකයන්ගේ තාරුණ්‍යයේ ක්‍රීඩා කෞෂළ්‍යයන් ඔප්නැංවීමට දායකත්වය සැපැයිම මහවැලි අමාත්‍යාංශයේ කාර්ය භාරයද වන බවයි.

පුරා 30 වසරකට වැඩි කලක් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කිරීමට මහවැලි ක්‍රීඩා උළෙල රුකල් වු බවත් මෙවර තරගාවලිය හුදෙක් තරගාවලියක් පමණක් නොවන බවත් සමස්ත ක්‍රීඩාවේම උන්නතිය උදෙසා මහවැලි කලාපයෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ව නිසි මාවතක් කරා රැගෙන යැමට හැකි සැම අංශකින්ම දිරිගන්වමින් නිසි වැඩසටහනකට යොමු කිරීමට බලාපොරොත්තුවන බවත් මහවැලි අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාගේ මැදිහත් විම මත මෙම වැඩසටහන ක්‍රීයාත්මක කරමින් සිටින බව මාධ්‍ය හමුවට එක්වෙමින් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානයක මහතා පවසා සිටියේය. ඩයලොග් ආසියාටා සමාගම වැනි සමාගමක් මෙවැනි ගැමි දරු දැරියන්ගේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙන් පැමිණීම ගැනද ඒ මහතා ස්තූතිය පිරිනැමිය.

මෙරට පත් වු සැම ජනාධිපති වරයෙකුම කැබිනට් අමාත්‍යාංශයක් තමන් යටතේ පවත්වාගෙන ගියා. ඔවුන් වැඩියෙන්ම තමන් යටතේ පවත්වාගෙන ගියේ මුදල් අමාත්‍යාංශයි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් යටතේ පවත්‍වාගෙන යමින් සිටින්නේ මහවැලි අමාත්‍යාංශයයි. එතුමා දීර්ඝ කාලයක් මහවැලි ඇමැති වරයා ලෙස කටයුතු කරමින් සිටිනවා. එතුමාගේ දැක්ම අනුව රට ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා රැගෙන යාමට නම් ගොවිතැන අත්‍යාවශම කාරනයක් වන බවයි. ඒ තුලින් රට ගොඩනැගිය හැකි මාවතක් කරා රැගෙන යාමයි. ජනාධිපති තුමා මහවැලි ක්‍රීඩා උළෙලටද දක්වන්නේ අපමනලෙන්ගතු කමකී. 18 වසරක් මහවැලි තරගාවලියේ ප්‍රධානියා ලෙස කටයතු කරමින් සිටින ජනාධිපති තුමා මෙවරද තම සහාභාගීත්වය 16 වැනි දා ලබාදි ඇති බව පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටියේය.

අපේ ගැමි සංස්කෘතිය ගැමි පරිසරයක මහවැලි ප්‍රදේශය තුල ආරක්ෂා වෙලා තිබෙනවා එය රැක ගැනීම අපේ යුතුකමක්, භෞතික සංවර්ධනයත් සමග අයාලේ ගිය අපේ කම ගම තුල තවමත් රැදි පවතිනවා. එය රැකගෙන දේශීය ක්‍රීඩාවන් වැඩිදියුණු කිරිම මෙම මහවැලි ක්‍රීඩා ‍උළෙල මගින් ක්‍රීයාත්මක වෙනවා එය අගය කළ යුතුයි. යයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

මලල ක්‍රීඩා තරග ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ නිති රිති අනුව පවැත්වෙන අතර මුලික තරග තුනෙන්ම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා මුලික තරග තුනෙන්ම හොඳම කාලය වාර්තා කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් තරගයට සුදුසුකම් ලබයි.

සැම තරග කරුවෙකුටම අභියෝග කුසලාන සහතිකපත්‍ර හා පදක්කම් පිරිනෑමිමට නියමිත අතර ජවන හා පිටි තනි ඉසව් සහ සහය දි‍විමේ ඉසව් වලදි පළමුවැනි දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් හා සහතික පත්‍ර පිරි නමනු ලබන අතර කණ්ඩායම් තරග වලදී ශූරයින්ට, අනු ශුරයින්ට හා තෙවන ස්ථානය හිමිකරගන්නා ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් පදක්කම් හා සහතිකපත් පිරිනැමීමට නියමිතය.

මලල ක්‍රීඩා මැරතන් / බයිසිකල් යන එක් ඉසව්වක් සඳහා එක් පදක්කම බැගින් ද කණ්ඩායම් තරග සහාය දිවීම / ශුරතාවයන් සඳහා එක් රන් පදක්කම බැගින්ද පිරිනැමිමට නියමිත අතර වැඩිම රන් පදක්කම් දිනා ගන්නා සංඛ්‍යාව මත සමස්ථ පදක්කම් ශුරතා හිමි වන අතර රන් පදක්කම් සම වු විට රීදි පදක්කම් මත ද නැතත් සම වු විට ලෝකඩා පදක්කම් මතද ශූරතාවය ගණනය කරණු ලබයි. ජනාධිපති කුසලානය හිමි විමට නියමිතව ඇත්තේ කණ්ඩායම් ශුරතා වලදි වැඩිම ලකුණු ලබාගත් කලාපයටයි.

පසුගිය වසරේදී පොළොන්නරුව මහවැලි ක්‍රිඩාංගණයේදී අවසන් වු තරගාවලියෙන් මහවැලි බී. කලාපය ජනාධිපති කුසලානය දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි හුරුළුවැව කලාපය නියෝජනය කල යු. ආර්. ආර්.බී. රාජපක්ෂ විසින් දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව මහවැලි වලව කලාපය නියෝජනය කළ නදීෂා රාමනායක විසින් දිනාගන්නා ලදි.

මෙම අවස්ථාවට පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිරි විතාන,මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ලේකම්ගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරී, ඩ‍යලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, එම ආයතනයේම හර්ෂ සමරනායක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් වුහ.

ගීෂා මුණසිංහ

Comments