මරු සිරා එල්ලා මැරුවේ කොටයක වාඩිකරලයි | සිළුමිණ

මරු සිරා එල්ලා මැරුවේ කොටයක වාඩිකරලයි

* ලීවරය ඇද්දාම සිරයි කොටයයි පහළට වැටුණා
* තුවක්කුව කකුලට හිරකර ගෙන ඇඟිලි දෙකෙන් කොකා ගස්ස ගත්තා
* ලෙඩ්ඩු බලන්න සෙනඟ එනකොට මරු සිරා හැංගුවා
* සිරිපාල ඇම්ඩන් කෙනෙක් නොවෙයි

මරු සිරා හෙවත් සිරිපාල හෙවත් දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල යන නම කිසිදින කිසිවෙකුට අමතක නොවේ. එක් දහස් නවසිය හැට ගණන්වලදී දරුණු අපරාධකරුවෙකු ලෙසින් නම් ලද සිරිපාල හෙවත් මරු සිරා ගැන එදා නොදත් අයකු නැති තරම්ය. ඔහු ගැන කතා අසන්නට අදත් කවුරුත් කැමතිය. දෙදෙනකු මරා තවත් වැරදි ක්‍රියා කිහිපයකට දඩුවම් ලබා සිර ගතවූ සිරිපාලට අවසානයේ මරණ දඬුවම නියම විය. සිරිපාල එල්ලුම් ගස් ගොස් අදට හරියටම අවුරදු හතළිස් තුනකි.

වසර හතළිස් තුනක් යනු දිගු කාලයකි. මේ දිගු කාලයේදී අප කාටවත් සිරිපාල හෙවත් මරු සිරා අමතකව නොවිනි. එල්ලුම් ගහ ගැන කතාකරන විට නිරන්තරයෙන්ම සිරිපාලගේ මරණය පිළිබඳ දෙගිඩියාවෙන් කතා කරන බැවිනි.

සිරිපාල එල්ලා මැරුවාද ? නැතිනම් මරා එල්ලුවා ද? මේ වසර හතළිස් ගණනක් තිස්සේ සිරිපාල ගැන කතා කරන ඒ පිළිබඳ ලියන කවුරුත් කතා කරන මාතෘකාවයි.

සිරිපාල උපන්නේ කොළඹ ප්‍රදේශයේය. පාසලේදී සිරිපාල අතින් සිසුවකු බ්ලේඩ් එකකින් කැපී තුවාල ලබයි. මේ බව දැන ගන්නා ඔහුගේ වැඩිමල් සොහොයුරා සිරිපාලට දඬුවම් කරන්නේය. සොහොයුරාගේ දඬුවම නොඉවසූ සිරිපාල සිය පියා සේවය කරමින් සිටි අනුරාධපුර සාලියපුර ප්‍රදේශයට පලා යන්නේය. ඒ වනවිට සිරිපාලගේ පියා සේවය කරමින් සිටියේ සාලියපුර ප්‍රදේශයේ වැඩිහිටි නිවෙසක මුරකරුවකු ලෙසය. සාලියපුර නතරව සිටින අතරේ ප්‍රදේශයේ රස්තියාදුකාරයන්ට එකතු වන තරුණ වියේ පසුවන සිරිපාලගේ ජීවිතය අයාලේ යයි. පසුව සිරිපාල රන් මැණිකා නමැති මින් පෙර විවාහ වී සිටි කාන්තාවක හා පවුල් කන්නට වන්නේය. රන්මැණිකා හා සිරිපාල යුවළට ලැබෙන්නේ දියණියකි. රන් මැණිකාට ඇගේ පළමු සැමියාගේ යහළුවකු කළ විහිළුවක් දුර දිග යෑමෙන් සිරිපාල ඒ මිනිසා සහ ඔහුගේ යහළුවා මරා දමන්නේය. සිරිපාල පොලිසීයට කොටු වන්නේ මේ මිනී මැරුම් දෙකට හා තවත් වැරදි කිහිපයකටය.

මිනී මැරුම් දෙකකට චෝදනා ලැබ සිරගෙදරට එන සිරිපාලගේ නඩුව විභාග වන තුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලදී.

මුලින්ම සිරිපාල රඳවා තැබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. මේ බන්ධනාගාරයේ සිටින අතර ඔහු පලා යන්නේය. එකල රන්මැණිකේ කියා තිබුණේ සිරිපාල හිරෙන් පැන විත් තමා හා දියණිය බලා ගිය බවකි.

කෙසේ හෝ සිරිපාල මේ පලා ගිය ගමනේදි සිරිපාලට වෙඩි වදින්නේය. වෙඩි වැදීමෙන් තුවාල ලත් සිරිපාල ඇතුළත් කරනු ලබන්නේ අනුරාධපුර මහරෝහලටය. සිරිපාල පරික්ෂා කර බලන වෛද්‍යවරයා ඔහු රෝහලේ හය වැනි වාට්ටුවට ඇතුළත් කරයි. සෝමලතා වෛද්‍යරත්න එදින හය වැනි වාට්ටුව බාරව රාත්‍රී සේවයේ යෙදී සිටි හෙදියයි. ඇය දැනුදු සිරිපාල ගැන කතා කරන්නේ කනගාටුවෙනි. ඇය අප හඳුනන්නේ බොහෝ කලක සිට වුවද අප හා අහම්බෙන් කළ කතාවකදී ඇය සිරිපාල සිහිපත් කළාය. ඒ ඔස්සේ අපි ඇගෙන් සිරිපාල ගැන විමසුවෙමු.

රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවකද වන සෝමලතා වෛද්‍යරත්න මහත්මිය විශ්‍රාම ලබද්දී හෙද සොහොයුරියකි. අය වසර පනහකට පෙර අතීතය අප හා සිහි කළේ මෙසේය.

“එදා උදේ හයට විතර මම රෑ සේවය නිමාවෙලා නවාතැනට යන්න සුදානම්ව සිටියේ. ඒ වෙලාවේ තමයි බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙක් වෙඩි වැදිලා තුවාල වූ කෙනෙක් අරගෙන ආවේ. ඒ වෙනකොටත් අපි දන්නේ නැහැ මේ තුවාලකාරයා කවුද කියලා. ඒ පැමිණි අයගෙන් එක නිලධාරියෙක් මගෙන් ඇහුවා ‘මිස් දන්නවද මේ කවුද’ කියලා. මම කිව්වා නැහැ කියලා. ඒ වෙලාවේ තමයි ඔහු කිව්වේ ‘මේ තමයි මරු සිරා’ කියලා. ඒ වෙනකොට මරු සිරා අනුරාධපුරයේ විතරක් නෙමෙයි රටේම ප්‍රසිද්ධවෙලා හිටියේ දරුණු අපරාධකාරයෙක් හැටියට. මම තුවාලකාරයා දිහා බලාගෙනම කල්පනා කෙරුවා මොහුට මරු සිරා කියන්නේ පව් නේද කියලා. මට එහෙම හිතුණේ ඔහුගේ පෙනුම නිසා. ඔහු බොහෝම ප්‍රසන්න පෙනුමක් තිබුණු අහිංසක කෙනෙක් ලෙසයි මම ඒ වෙලාව දැක්කේ. වාට්ටුවට ඇතුළු කර ගත්තට පස්සේ වෛද්‍යවරයා එනතුරු බෙහෙත් දාන කාමරයේ සිට මම ඔහුගේ තුවාලය පිරිසුදු කෙරුවා. ඒ වෙලාවේ මම ඔහු සමඟ කතාකළා. සාමාන්‍යයෙන් අපි තුවාලවලට බෙහෙත් දානකොට රෝගියා සමඟ කතා කරනවා. එහෙම කරන්නේ ඔහුගේ වේදනාව අමතක වෙන්න. ඒ වෙලාවේ මම සිරිපාල සමඟ කතාකළා. මම සිරිපාලගෙන් ඇහුවා කොහොමද තුවාල වුණේ කියලා. ඔහු කිව්වා ‘වෙඩි තියා ගත්තා’ කියලා. අපරාදේ නේද එහෙම කළේ කියා මං ඇහුවා.

‘මිස් මට ජීවිතේ ගැන කලකිරුණා, මම හොඳට ඉන්න හැදුවා. උන් මට ඉන්න දුන්නේ නැහැ’ඔහු කිව්වා. මට මතක හැටියට ඔහුගේ පපුවේ පැත්තකට තමයි වෙඩි වැදිලා තිබුණේ. මම ඇහුවා කොහොම ද වෙඩි තියා ගත්තේ කියලා. සිරිපාල කියනවා තුවක්කුව කකුල් දෙකට හිරකරගෙන කකුලේ මහපට ඇඟිලි දෙකෙන් කොකා ගස්ස ගත්තා කියලා.

එදා උදෑසන සේවයට පැමිණි හෙදියන්ට වාට්ටුව බාර දීලා මම ගියා. සිරිපාල දවස් කිහිපයක්ම රෝහලේ නතර කරගෙන සිටියා. සිරිපාල රෝහලේ ඉන්නවා කියා දැන ගත්ත ඒ කාලයේ අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි පිරිස් දවල් කාලයේ ඔහු බලන්න රෝහල් වාට්ටුවට එන්න ගත්තා. හරියට සිරිපාල ප්‍රදර්ශන භාණ්ඩයක් වගෙයි. සිරිපාල දරුණු අපරාධකාරයෙක් වුණත් ඔහු අපේ භාරයේ ඉන්න රෝගීයෙක් . ඔහු වුණත් කැමති වුණේ නැහැ කවුරුවත් ඔහු බලන්න එනවට. මේ නිසා දවල් රෝගීන් බලන්න අමුත්තෝ එන වෙලාවට අපි ඔහු ඇඳ පිටින්ම ඇතුළේ කාමරයක සඟවා තබනවා. ඔහුත් එයට කැමති වුණා. ඔපරේෂන් එකෙන් පස්සේ අපිරිසුදු ලේ පිට වෙන්න ඔහුගේ පෙනහැල්ලට බටයක් දාලා තිබුණා.

ඔහු ටිකට් කපලා ගියේ කවද්ද කියලා මට මතකයක් නැහැ. නමුත් ඔහු ටික දිනක් රෝහලේ හිටිය බව මතකයි. ” හෙද සොහොයුරිය පවසන්නීය.

සිරිපාල ගැන කියන්නට බොහෝ කතා ඇත. නමුදු ඒ කතා හේතු සාධක ඇතිව ඉදිරිපත් කරන්නට ඇසින් දුටු සාක්ෂි අද වන විට නැත. සිරිපාල පිළිබඳ තොරතුරු සෙවීමේදී විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස් සේනක ස්ටෙම්බු මහතා පැවැසූ තොරතුරුද මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

එකල දෙවන පෙළ ජේලර්වරයකු වූ සේනක ස්ටෙම්බු මහතා සේවය කළේ යාපනය හිරගෙදරය.

“ මම එක්දහස් නවසිය හැත්තෑ එකේ සිට එක්දහස් නවසිය හැත්තෑ හතර වෙනතුරු යාපනයේ හිටියේ. සිරිපාල යාපනයේ සිරගෙදරට ආවේ අනුරාධපුරයේ සිට. හිරගෙදර ප්‍රශ්න ඇති කරන නිසයි ඔහු යාපනයට එවා තිබුණේ. ඔහු හිටියේ විශේෂ සිරකරුවන් සිටින මැදිරියක. යාපනයේ හිරගෙදර හිටියට ඔහුගේ නඩුව විභාග වුණේ අනුරාධපුර උසාවියේ. ඒ නිසා නඩු වාරයට සිරිපාල යාපනේ සිට යාල්දේවී දුම්රියෙන් අනුරාධපුර උසාවියට ගෙන යනවා. ඒ අරගෙන එනකොට ගාඩ්ලා දෙන්නයි ජේලර් මහත්තයයි පොලීසියේ නිලධාරීන් දෙන්නෙකුයි එනවා. අනුරාධපුරයට එන්න අපි උදේ 5ට තමයි යාල්දේවී කෝච්චියට නඟින්නේ. සිර ගෙදරින් ගමන පිටත් වෙන්න කලින් මම සිරිපාලට කියනවා“ සිරිපාල වැසිකිළි යනවා නම් ගිහිල්ලා එන්න, මම මඟදි මොනදේ වුණත් මාංචු ගලවන්නේ නෑ” කියා. සිරිපාල සුදානම් වෙලා එනවා. මඟදි මම ඔහුට මගේ සල්ලිවලින් ඔරේන්ජ් බාර්ලි බෝතලයක් අරගෙන දෙනවා. ඔහුගෙන් කිසි කරදයක් නැහැ. මිනිහා කෙසඟයි සුදුයි. හොඳ හැඩ ඉලන්දාරියෙක්. ඇම්ඩන් කෙනෙක් නෙමෙයි. දැක්කම කෙනෙකුට හිතෙනවා මොහු මිනී මරුවෙක්ද කියලා. මට මතකයි උසාවියේදී ඔහුට මරුසිරා කියලා කතා කළාම ඔහු ඒ අයට කියනවා මට මරු සිරා කියන්න එපා. මගේ අම්මා තාත්තා මට හොඳ නමක් දීලා තියෙනවා ඒ නමින් කතා කරන්න කියලා. සිරිපාල බලන්න ඔහුගේ මවයි, තව ගැහැනු කෙනෙකුයි නිතර සිරගෙදරට ආවා පොඩි ළමයෙකුත් සමඟ. කෝච්චියේ යන එන ගමන්වලදි මම ඔහුගෙන් ඇහුවා මොකද මිනිස්සු මැරුවේ කියා.

‘සර් මට ඒ අය ඉන්න දුන්නේ නැහැ. අරියාදු කෙරුවා’කියා ඔහු බොහෝම කලකිරීමකින් කතා කළා. සිරිපාලට මරණ දඬුවම හිමි වුණාම මගේ හිතට දුකක් දැනුණා. සේනක ස්ටෙම්බු මහතා පවසන්නේය.

මරණ දඬුවම නියම වීමෙන් පසු සිරිපාල බෝගම්බර සිරගෙදරට මාරු කර එවන්නේය. ඒ කාලය වන විට බෝගම්බර හිරගෙදර ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු රැසක්ද රඳවා සිටියහ.

උසාවියෙන් සිර දඬුවම නියම කළ පසු එල්ලා මරණ දිනය දන්වා එවන්නේ ආණ්ඩුකාරවරයා විසිනි. සිරකරු එල්ලා මරණ දිනය දින හතකට පෙර ඔහුට දැන්විය යුතුය. සිරිපාලට එම පණිවුඩය ලද විට ඔහු හැසිරුණේ කෙලෙසින් ද?

අප මේ ප්‍රශ්නය ඇසුවේ එවකට බෝගම්බර බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු ලෙස සේවය කළ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි රංජිත් ඒකනායක මහතාගෙනි.

“මම දෙපාර්තමේන්තුවට මුලින්ම බැදුණේ එක්දහස් නවසිය හැට හත වසරේදී. මුලින්ම සේවය කළේ වැලිකඩ බන්ධනාගාරයේ. පසුව තමයි බෝගම්බරට මාරු වී ගියේ. ඒ කාලේ සිරිපාල රඳවා සිටියේ C - 121 කාමරයේ. ඒක තුන්මහල් ගොඩනැගිල්ලක්. ජනතා විමුක්ති පෙරමුණේ නන්දන මාරසිංහ හිටියේ බී මහලේ. සිරිපාලට නන්දන මාරසිංහගේ ඇසුර ලැබුණා. ඒ අය මහල් දෙකේ හිටියට හයියෙන් කතා කර ගත්තා. සිරිපාලට මරණ දිනය කියන්න ජේලර් ආවා. මම හිටියේ ඒ හරියෙමයි. මම හිටපු තැනට සිරිපාල පේනවා. එල්ලුම් ගහට නියම වුණු කෙනාට ඉව තියෙවා. අර ජේලර් එනකොට සිරිපාල අහනවා ‘වැඩේ හරි නේද?’ කියලා . තමන්ගේ මරණ දවස දැන ගත්තට පස්සේ ඔහුගේ මුහුණ එහෙ පිටින්ම වෙනස් වෙනවා මම දැක්කා. ඔහුට ඕන වුණා නාන්න. හුඟක් අය ඒ වෙලාවට ඉල්ලන්නේ නාන්න. සිරිපාල හැම විටම කිව්වේ ‘තොපි අතින් මැරෙන්නේ නැහැ’ කියලයි. ඔහු ජීවිතයට හානියක් කර ගනියි කියන සැකය තිබුණා. ඒ නිසා අපි හැම විටම හිටියේ ඔහු ගැන සෝදිසියෙන්. ඒ නිසා ඔහුට නාන්න ඕනෑ කිව්වම අපි ටැංකියේ වතුර බාගයක් හිස් කරලා තමයි ඔහුට නාන්න දුන්නේ.” අතීතය මතක් කරමින් ඒකනායක මහතා පවසන්නේය.

කෙසේ හෝ සිරිපාල එල්ලා මරණ දිනය ක්‍රමයෙන් ළං වෙමින් තිබිණි. මරණයට පෙර දින කොළඹ සිට අලුගෝසුවා හා සහායක පැමිණියහ. අලුගෝසු රාජකාරීය කරනු ලැබුවේ එවකට බන්ධනාගාර මුලස්ථානයේ කාර්යාල කාර්ය සහායක ලෙස කටයුතු කළ ලුවිස් සිංඥෝය. සිරිපාලගේ බර කිරා ඒ බරට වැලි බර ද සකස් කරන ලද අතර කඹය අවශ්‍ය ලෙස සකස් කර තිබිණි. එමෙන්ම ඔහු වළ දැමීමට අවශ්‍ය පෙට්ටිය ද හිරගෙදර වඩු මඩුවේ සකසා තිබිණි. පසුදාට එළි විය. උදෑසන ඔහු එල්ලා මරා දැමිණි. ඒ බෝගම්බර සිරගෙදර පෝරකයේදීය.

මේ කතාව මෙලෙසින් ලියා අවසන් කරන්නට තිබිණි. නමුදු සිරිපාල එල්ලා මරා දැමුණු දා සිට අද දක්වා නොවිසිදුන ගැටලු කිහිපයක්ම වේ. සිරිපාල එල්ලා මැරුවාද? මරා එල්ලුවාද ? යන මේ කුකුස පැහැදිලි කර ගැනීමේ උවමනාව බොහෝ කල් සිට සිතේ පැළපැදියම් වී තිබිණි. ඒ කුකුසට නිවැරැදි පිළිතුරක් සොයමින් කළ මෙහෙයුම අවසන් කරන්නට ඔහු අපට හමුවිය. සිරිපාලගේ අවසන් දින කීපය පිළිබඳ මතකය අප හා අවදි කළේ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි ඒකනායක මහතාය. ඔහු පුවත් පතකට මේ තොරතුරු පවසන ප්‍රථම වතාව මෙයවේ.

“එදා රෑ ඒ කියන්නේ 1975 අගෝස්තු 4 වැනිදා රෑ සිරිපාල සිටින මැදිරිය පැයෙන් පැය සෝදිසි කර තිබුණා. ඔහු හැම විටම කිව්වේ ‘තොපි අතින් මැරෙන්නේ නැහැ’ කියලා. ඒ නිසා ඔහු ගැන බොහෝම අවධානයෙන් සිටියේ. එදා රෑ එකහමාරට පමණ ඔහු බුලත් විටක් කා නිදාගන්න ගොස් තිබුණා . ඔහු බොහෝ රෑ වනතුරු අවදියෙන් සිට තිබුණා. කෙසේ හෝ පාන්දර දැන ගන්න ලැබුණා ඔහු හොඳටම නිදි කියලා. වතුර ඉස බැලුවත් ඔහු අවදි වුණේ නැහැ. හැමෝම හිතුවේ ඔහු බොරු කරනවා කියලා. සිරිපාලට කොච්චර කතා කළත් ඔහු හිටියේ මර නින්දේ. ඔහු සුදානම් කර එල්ලුම් ගහ ළඟට අරගෙන ගියේ ඔසවාගෙන වගෙයි. මොහු එල්ලුම් ගහ ළඟ සිටුවා තබන්න බැහැ. පසුව කොටයක් ගෙනැල්ලා ඒ මත වාඩිකර තබා තමයි ඔහු එල්ලා මැරුවේ. ලුවිස් සිංඥෝ ලීවරය ඇද්දම කොටයයි සිරිපාලයි දෙකම පහළට වැටුණා.”

හැම වෙලේම සෝදිසි කළානම් ඔහු කොහොම ද මර නින්දට වැටුණේ. ?

ඒ ඊළඟට ඇති ප්‍රශ්නයයි.

“එල්ලුම් ගහට නියම වෙලා ඉන්න හිරකාරයෝ වෛද්‍යවරයා බලන්න ආව හැම විටම කියන දෙයක් තමයි නින්ද යන්නේ නැහැ කියලා. ඒ වෙලාවට වෛද්‍යවරයා නියම කරනවා ‘ලාගටිල්‘ පෙත්තක් දෙන්න කියලා. මේල් නර්ස් ඒ පෙත්ත හිරකාරයාගේ අතට දෙනවා . හරි නම් ඔහු එය බොනතුරු ඔවුන් බලා ඉන්න ඕනෑ. සමහර විට එහෙම වෙන්න නැතිව ඇති. සිරිපාල තමන්ට ලැබුණ ලාගටිල් පෙති එකතු කරන්න ඇති. එත් අපට තියෙන ප්‍රශ්නය හැම විටම හැම තැනම සෝදිසි කරපු අපට ඒක අහුනොවුණේ කොහොමද කියලයි. සිරිපාලත් නන්දන මාරසිංහත් බොහෝම හිතවත්. මේ නිසා පහුකාලිනව සිරිපාලට රැඩිකල් අදහස් තිබුණා කියා හිතෙනවා. බණ කියන්න හාමුදුරුවෝ ගෙන්වන්න හැදුවම සිරිපාල ඊට අකමැති වුණා. සිරිපාල කිව්වේ ‘දළදා මාලිගාවේ බෙර ගහනවා. ඒ බෙරේ ගහන්නේ හරකා මරලා අරගත්ත හමෙන් හදන බෙරෙන් , ඒ ගහන බෙර හඬට මිනිස්සු සාධුකාර දෙනවා ...ඔය බොරු වැඩ මට එපා කියලා. ‘ඔහුගේ බලවත් අකමැත්ත නිසා හාමුදරුවෝ ගෙන්නුවේ නැහැ. සිරිපාල හිරගෙදර හිටපු පූසෙක්ව හුරතලේට ඇති කළා.”

රංජිත් ඒකනායක මහතා පවසන්නේ තමන් දුටු දෑය.

කාලය ගෙවී අවසානය . සිරිපාලගේ බිරිය රංමැණිකා එක්තරා පුවත්පතකට පවසා තිබුණේ සෙරෙප්පුවක් කපා එහි නිදි පෙති සඟවා යහළුවකු ඔහුට සකස් කර දී තිබූ බවක් සිරිපාල ඇයට කියූ බවකි.

“ මං මුන් අතින් මැරෙන්නේ නෑ” යැයි නිතර දෙවේලේ මන්තරයක් සේ මැතිරූ ඒ වදන සිරිපාල සෑබෑ කර ගත්තේ කෙලෙසින්ද? මේ කතාවේම අතුරු කතාවක් ලෙස ඇත්තේ සිරිපාල ඇති කළ පූසාගේ ගෙලේ බැඳි පටියේ නිදි පෙති සඟවා තබා මරණ දිනයට පෙර දින ඒ සියල්ල බොන්නට ඇතැයි කියාය.

සිදුවූයේ කුමක්දැයි යන්න හරියටම දන්නේ සිරිපාලය. එය සනාථ කර ගන්නට ඔහු නැත. ඔහුගේ සිරුර ගොඩ ගැනීමෙන් පසු පරික්ෂණ පවත්වා වෛද්‍ය වාර්තාවේ පවසා ඇත්තේ එල්ලා මැරිමේදී ඔහුගේ කොඳු ඇට පේළියට හානි සිදු නොවී තිබූ බවය.

වසර හතළිස් හතරක් යනු සුළුපටු කාලයක් නොවේ. ගෙවි ගිය කාලය තුළ සිරිපාලගේ ජීවිත කතාව පදනම් කරගෙන චිත්‍රපට දෙකක් නිර්මාණය විය. නැසීගිය පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ මහතා පොතක් ලියා පළකර තිබිණි. සිරිපාල හෙවත් මරු සිරා ගැන ලියූ ලියවිල්ලට දැනුදු නැවතීමක් තැබීමට නොහැකිය. ඒ සිරිපාල මරණයට පෙර දින රාත්‍රියේ මර නින්දට වැටුණේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බැවිනි.

මෙයට පිළිතුරක් ඇත්තේ කා ළඟ ද?

ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු
සාලිය රූපසිංහ
කැලුම් ලියනගේ

 

Comments