විම්බල්ඩන් ටෙනිස් ශූරතා නොවැක්ට සහ කර්බර්ට | සිළුමිණ

විම්බල්ඩන් ටෙනිස් ශූරතා නොවැක්ට සහ කර්බර්ට

වාර්ෂිකව ලොව පැවැත්වෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම ටෙනිස් ශූරතාවලියක් වේ. ඒ එංගලන්තයේදී පැවැත්වෙන විම්බල්ඩන් ශූරතාවලියයි. එය ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියකුත් වේ. මෙහිදී තරග පැවැත්වෙන්නේ තණ‍කොළ සහිත පිටිවලදීය.

2018 විම්බල්ඩන් ශූරතාවලිය ඉකුත් සති අන්තයේදී නිමාවට පත් විය. එහිදී කාන්තා කේවල (තනි) ශූරතාව ජර්මනියේ ඇන්ජෙලික් කර්බර් විසින් හිමිකර ගැනීමට සමත් වූවාය. මෙවර පිරිමි කේවල ශූරයා වූයේ සර්බියාවේ නොවැක් ජොකොවිච්ය. මෙම ජයග්‍රහණ වෙනුවෙන් ඔවුනට ස්ටර්ලිං පවුම් 2, 250,000 බැගින් ත්‍යාග මුදල් හිමි වූහ. මෙවර කේවල අනුශූරතාවයන්ට ස්‍ටර්ලිං පවුම් 1, 125,000 බැගින් හිමි විය. මෙවර විම්බල්ඩන් ශූරතාවලිය පැවැත්වූයේ 132 වැනි වතාවටයි.

කේවල ශූරිය - ඇන්ජෙලික් කර්බර් (ජර්මනිය)

30 හැවිරිදි කර්බර් මෙවර අවසන් තරගයේදී තරග වට 2 – 0 කින් (ලකුණු 6-3,6-3) ඇමෙරිකාවේ 36 හැවිරිදි සෙරිනා විලියම්ස් පරාජය කළාය. මෙය ඇය හිමිකර ගත් තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවයයි. මීට පෙර 2016 විම්බල්ඩන් අනුශූරිය වී තිබුණේ සෙරීනා ඉදිරියේදීමයි.

“මෙය සිහිනයක් සැබෑ වීමක්. මම දැනගෙන හිටියා සෙරිනා සමඟ තරග කරන විට මගේ හොඳම දක්ෂතා දැක්විය යුතු බව. සෙරිනා විශිෂ්ට පුද්ගලයෙක් මෙන්ම ශූරියක්” ජයග්‍රණයෙන් අනතුරුව කර්බර් පැවසුවාය.

මීට පෙර අවසන් වරට ජර්මනිය වෙනුවෙන් විම්බල්ඩන් කේවල ශූරතාවය හිමිකර ගත්තේ ස්ටෙෆි ග්‍රාෆ්ය. ඒ 1996 වසරේදීය. කර්බර්ගේ ක්‍රීඩා වීරවරිය වන්නේත් ග්‍රාෆ්මයි.

සෙරිනා උත්සාහ කළේ සිය 24 වැනි ග්‍රැන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවය හිමිකර ගැනීමටයි. ඇයට විම්බල්ඩන් කේවල ශූරතා 07 කුත් හිමි විය.

මෙවර මුල් වටයේ දී කර්බර් රුසියාවේ 33 හැවිරිදි වීරා ෂ්වොනාරේවා වට 2-0 කින් පරාජය කළාය. දෙවන වටයේදී කර්බර්ට ඇමෙරිකාවේ 18 හැවිරිදි ක්ලෙයාර් ලියු හමුවේ වට 2-1 ක ජයකි. තෙවන වටයේදී ඇය තරග වට 2-0කින් ජපානයේ 20 හැවිරිදි නයෝමි ඔසාකා පරාජය කරන ලදි. සිවුවන වටයේදී කර්බර් වට 2-0 ක ජයක් ලැබුවාය. එහිදි ඇගේ ප්‍රතිවාදිනිය වූයේ 21හැවිරිදි ස්විස්ටර්ලන්තයේ බෙලින්ඩා බෙන්සිච්ය.

රුසියාවේ 21 හැවිරිදි ඩාරියා කාසට්කිනා අර්ධ අවසන් තරගයේ දී වට 2-0 කින් කර්බර් හමුවේ පරාජය වුවාය. කර්බර්ට අවසන් පුර්ව තරගයේදී වට 2-0 ක ජයකි. එහිදී පරාජය වූයේ ලැට්වියාවේ 21 හැවිරිදි යෙලේනා ඔස්ටාපෙන්කෝය.

කර්බර් 1988 වසරේ ජනවාරි 18 වැනිදා උපත ලැබුවාය. ඇගේ උස අඩි 5 අඟල් 8කි. ඇගේ පියා ජර්මන් ජාතික ස්ලාවොමිර්ය. මව වනුයේ පෝලන්ත ජාතික බියාටාය. කර්බර්ගේ සො‍හොයුරිය ජෙසිකාය. කර්බර් උපතින් දකුණත හුරු ක්‍රීඩිකාවකි. නමුත් අද ඇය ක්‍රීඩා කරන්නේ වමතිනි. තෙහැවිරිදි වන විට ඇය ක්‍රීඩාවට යොමු වුවාය. 2003 වසරේ සිට වෘත්තීයමය ලෙස ක්‍රීඩා කරන්නීය. මේ වන විට කාන්තා ටෙනිස් සංගම් (ඩබ්.ටී. ඒ.) කේවල ශූරතා 12 ක් ඇය සතුය. මෙවර විම්බල්ඩන් ජයට අමතරව 2016 ඔස්ට්‍රේලියානු සහ ඇමෙරික‍ානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ද ඇය හිමිකර ගෙන තිබේ. එමෙන්ම ඇය 2016 ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනියකි.

2016 වසරේදී කාන්තා ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩිකාව බවටත් කර්බර් පත් වූවාය. මෙවර විම්බල්ඩන් තරගාවලිය නිමා වන විට ඇය ලොව අංක 04 ක්‍රීඩිකාවයි. 2016 වසරේදීම ඩබ්.ටී.ඒ. වසරේ ක්‍රීඩිකාව සහ ජර්මන් වසරේ ක්‍රීඩිකාව වැනි සම්මානත් ඇය සතු වූවාය. කර්බර් දැඩි පාපන්දු ක්‍රීඩා රසිකාවියකි.

කේවල ශූරයා - නොවැක් ජොකොවිච් (සර්බියාව)

31 හැවිරිදි නොවැක් මෙවර අවසන් තරගයේදී තරග වට 3-0 කින් එනම් ලකුණු 6-2, 6-2, 7-6 (7-3) ජය ගත්තේ දකුණු අප්‍රිකා‍වේ කෙවින් ඇන්ඩර්සන් පරාජය කරමිනි. මෙය ඔහුගේ 13 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවයයි. එමෙන්ම සිවු වැනි විම්බල්ඩන් ශූරතාවයයි. මීට පෙර 2011, 14 සහ 15 වසර වලදී දිනා ගෙන තිබේ.

“යළිත් වතාවක් මේ වගේ මට්ටමට මට එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ” නොවැක් ජයග්‍රහණයෙන් පසුව පැවසීය. ගත වූ දෙවසරක පමණ කාලයේදී ආබාධ නිසා හෙතෙම වැඩි කාලයක් ක්‍රීඩා කළේ නැත.

මෙවර මුල් වටයේදී නොවැක් තරග වට 3-0 කින් ඇමෙරිකාවේ 26 හැවිරිදි ටෙනීස් සැන්ඩ්ග්‍රෙන්ව පරාජය කළේය. දෙවන වටයේ දී ඔහුට වට 3-0 ක ජයකි. පරාජය වූයේ ආර්ජන්ටිනාවේ 33 හැවිරිදි හොරාෂියෝ ෂෙබාලොස්ය. තෙවන වටයේදී ‍නොවැක් වට 3-1 ක ජයක් ලැබු‍වේ බ්‍රිතාන්‍යයේ 23 හැවිරිදි කයිල් එඩ්මන්ඩ් පරාජය කරමිනි. නොවැක් සිවුවන වටයේදී රුසියාවේ 22 හැවිරිදි කාරෙන් කාචානොව් පරාජය කිරීමට සමත් විය. ඒ වට 3-0 කින්ය. අර්ධ අවසන් තරගයේදී ඔහු වට 3-1 ක ජයක් ලැබීය. ඒ ජපානයේ 28 හැවිරිදි කෙයි නිෂිකෝරි හමුවේය. අවසන් පුර්ව තරගයේ දී නොවැක් සමඟ තරග කළේ සුපිරි ස්පාඤ්ඤ ශූර රෆායල් නඩාල්ය. 32 හැවිරිදි නඩාල් හමුවේ නොවැක් ජය ගත්තේ වට 3-2 කිනි.

මෙවර අවසන් මහා තරගයේදී නොවැක්ට අභියෝග කළ ඇන්ඩර්සන් 32 හැවිරිදිය. හෙතෙම අඩි 6 අඟල් 8ක් උසැතිය. මෙවර ඔහු තරග කළේ සිය දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයටයි. නමුත් 2017 ඇමෙරිකානු විවෘත ශූරතාවලියේදී මෙන්ම මෙවරත් ඔහුට අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය. සුපිරි ස්විස්ටර්ලන්ත ටෙනිස් ශූර රොජර් ෆෙඩරර් අර්ධ අවසන් පුර්ව තරගයේ දී පරාජය වූයේත් ඇන්ඩර්සන් හමුවේය.

නොවැක් ජොකොවිච් 1987 මැයි 22 උපත ලැබුවේ එවකට පැවැති යුගොස්ලාවියානු සමුහාණ්ඩුවේ බෙල්ග්‍රේඩ් නුවරදීය. දකුණතින් ක්‍රීඩා කරයි. ඔහුගේ උස අඩි 6 අඟල් 2කි. ක්‍රීඩාවට යොමු වුයේ වයස අවුරුදු හතරේදීය. 2003 සිට වෘත්තීමය ක්‍රීඩකයෙකි. මේ වන විට ඔහුට හිමි මුළු කේවල ශූරතා ගණන 68 කි. 2011 වසරේ ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩකයාය. මීට අමතරව ඔහු 2008 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභියෙකි.

නොවැක්ගේ මවුපියන් වනුයේ ස්ර්ඩාන් සහ ඩියානාය. ඔහුගේ මල්ලිලා වන මාර්කෝ සහ ජෝර්ඩි ටෙනිස් ක්‍රීඩකයෝය. ඔහුගේ බිරිය වන යෙලේනා රිස්ටිච් මුල් වරට හමු වූයේ උසස් පාසලේදීය. ජොකොවිච් යුවළ ‍මේ වන විට දියණියක් සහ පුත්‍රයෙක්ගේ දයාබර මවුපියන්ය. නොවැක්ට භාෂා පහක්ම කථා කිරීමට හැකිය. ඒ සර්බියානු, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ ඉතාලියයි.

Comments