
ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට යාමේ තර්ජනයක් උදා වී තිබිණි. එහෙත් ඉකුත් ජුනි මස 26 වැනිදා පැවැති ඉතා තීරණාත්මක නයිජීරියාව සමඟ පැවැති තරගයෙන් ගෝල 2-1 ක ජයක් අත්කර ගැනීමට සමත් වීමත් සමඟම ආර්ජන්ටිනාවට ඊළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා විය.
ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වන මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය. එමෙන්ම ඔහුගේ සුපිරි හැකියාවන් ද පෙර තරගවලට වඩා මෙහිදී දක්නට ලැබිණි. මෙම තරගය නැරැඹීමට හිටපු සුපිරි ක්‍රීඩක දියාගෝ මැරඩෝනාත් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.
ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ තරග ජුනි 30 දා ආරම්භ විය. එදින ප්‍රංශය - ආර්ජන්ටිනාව සහ උරුගුවේ - පෘතුගාලය අතර තරග පැවැත්විණි. මෙම වටයේදී පරාජය වන කණ්ඩායමේ තරගාවලියෙන් ඉවත් වේ.
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතාම තීරණාත්මක දිනයක් වූයේ ජුනි මස 26 වැනිදා ය. ඒ එදින මුල් වටයේ අවසන් තරග කිහිපයක්ම පැවැත්වීමයි. ඒ අතරින් ද බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ ආර්ජන්ටිනාව සහ නයිජීරියාව අතර පැවැති තරගය දෙසටයි. මන්ද යත් මෙම තරගය ජය ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අසමත් වුවහොත් ඔවුනට මුල් වටයෙන්ම ඉවත් වීමට සිදු වන බැවිනි.
අවසන් වරට ලෝක කුසලාන තරගවලියක පළමු වටයෙන්ම ඉවත් වීමට ආර්ජන්ටිනාවට සිදු වූයේ 2002 වසරේදීය. මෙවර එවැනි දෙයක් කිසිවකුත් බලාපොරොත්තු වූයේ නැත. ආර්ජන්ටිනාව මෙවර තරගාවලියට සහභාගී වූයේ 1978 සහ 1986 දෙවතාවක් ලෝක ශූරයෝ සහ 2014 අනුශූරයෝ ලෙසටයි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ මුල් වටයේ පළමු තරග දෙකම ආර්ජන්ටිනාවට ජය ගැනීමට හැකි වූයේ නැත. ඒ අයිස්ලන්තය සමඟ පැවැති තරගය ගෝල් 1-1 ක් වශයෙන් ජය පරාජයකින් තොරව නිමා වූ බැවිනි. මෙහිදී සුපිරි ක්‍රීඩක මෙසීට ලැබුණු දඬුවම් පහරක් අසාර්ථක විය. අනෙක් තරගය ක්‍රෝයේෂියාව ගෝල 3-0 කින් පහසු ජයක් ලැබීය.
එම නිසාම නයිජීරියාව සමඟ පැවැති තරගය අනිවාර්යයෙන්ම අර්ජන්ටිනාව ජය ගත යුතුම විය. මීට පෙර මෙම දෙරට අතර පැවැති ලෝක කුසලාන තරග සතරම ජය ගෙන තිබුණේ ආර්ජන්ටිනාවයි. අවසන් වරට ඔවුන් අතර තරගය 2014 ලෝක කුසලාන තරගාවලියේදී පැවැත්විණි. එය ආර්ජන්ටිනාව ජය ගත්තේ ගෝල 3-2 කිනි. එහිදී මෙසීට ගෝල දෙකකි.
මෙසේ දැඩි අවදානමක සිටි ආර්ජන්ටිනාව ගලවා ගැනීමේ හැකියාවත් තිබුණේ අන් කවරෙක් හටවත් නොව මෙසීටමයි. හෙතෙම වත්මන දී ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයාය. ඉහත නයිජීරියාවට එරෙහිව පැවැති තරගයට දෙදිනකට පෙර මෙසී 31 හැවිරිදි වියට පත් විය. ආර්ජන්ටිනාව මෙවර මුල් තරගවලදී අසාර්ථක වීමට ඇතැමුන් විවිධ හේතු දැක්වුහ. ඊට මෙසී ප්‍රමුඛ සුපිරි තරු දස්කම් අතර නොසිටීම ප්‍රධානය. තවද පුහුණුකරු ජෝර්ගේ සැම්පාඕලි සහ ක්‍රීඩකයන් අතර මත ගැටුම් ඇති වූ බවට වාර්තා වීමත් ඊට අයත්ය.
කෙසේ වෙතත් මෙසී වෙනුවෙන් කරුණු දැක්වීමට පුහුණුකරු සැම්පාඕලි මෙන්ම හිටපු සුපිරි තරුව වන දියාගෝ මැරඩෝනාත් ඉදිරිපත් වුහ.
“මෙවර ලෝක කුසලානයේ දී මෙසී කිසිම වරදක් කරලා නැහැ. මම කැමතියි ලියෝට (මෙසීට) මෙසේ පවසන්න කිසිම දෙයකට ඔබ වැරදිකරු නොවේ. මම හැමදාම වාගේ ඔබට ආදරෙයි. ඒ වගේම සෑම විටම ඔබට ගරු කරනවා.” මැරඩෝනා පැවසීය.
“මෙසීට ගෝල රැස් කරන්න අනෙක් ක්‍රීඩකයෝ වැඩිපුර ඔහුට පාපන්දුව ලබා දිය යුතුයි. ඒ වුනත් මුල් තරගවලදී එහෙම වූයේ නැහැ” ඒ සැම්පාඕලිගේ මතයයි. මෙසීව විවේචනය කරන බොහෝ දෙනා අමතක කරන ප්‍රධාන දෙයක් තිබේ. එනම් මෙසී නොවන්නට මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීමටත් ආර්ජන්ටිනාවට හැකියාව ලැබෙන්නේ නැති බවයි.
2018 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේදී දකුණු ඇමෙරිකානු කලාපයෙන් රටවල් 05 කට අවස්ථාව ලැබී තිබිණි. ආර්ජන්ටිනාව එම තරගවල සිය අවසන් තරගයට සහභාගී වන විට සිටියේ 06 වැනි තැනයි. ඔවුන් අවසන් වරට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වූයේ 1970 වසරේදීය.
ඉහත සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගයේදී ආර්ජන්ටිනාවේ ප්‍රතිවාදින් වූයේ ඉක්වදෝරයයි. තරගයේ මුල්ම ගෝලය රැස් කළේත් ඔවුන්මයි. නමුත් මෙසී විසින් රැස් කරන ලද සුපිරි ගෝල ත්‍රිත්වය නිසාම ආර්ජන්ටිනාවට රුසියාවට යාමේ වරම් ලැබිණි.
නයිජීරියාව සමඟ පැවැති තරගයේදීත් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මෙසීගෙන් එවැනි දස්කමකි. මෙවර තරගාවලිය නිමාවත් සමඟම ප්‍රතිඵලය කුමක් වුවත් මෙසී ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගනු ඇති බවට වාර්තා පළ විය. එසේ වුවහොත් ඔහුගේ ජාත්‍යන්තර තරග දිවිය නිමා වනු ඇත්තේ ද්විත්ව ජයග්‍රහණ පමණක් සමඟිනි. ඒ 2008 ඔලිම්පික් රන් පදක්කමත් 2005 වයස අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන ශූරතාවයත්ය.
ඔහුට අනුශූරතා සතරකි. ඊට 2014 ලෝක කුසලාන තරගාවලිය, 2007,15 සහ 16 වසරවල දකුණු ඇමෙරිකානු තරගාවලියන් අයත්ය.
ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයින් දෙදෙනා ලෙසට සැළකෙන්නේ මැරඩෝනා සහ මෙසීය. ඔවුන්ගෙන් වඩාත්ම විශිෂ්ටතමයා ලෙස එරටේ බහුතරයක් තවමත් සළකන්නේ මැරඩෝනාය. ඊට මුලිකම හේතුව වන්නේ 1986 ලෝක ශූරතාව ඔහුගේ නායකත්වය යටතේ ජය ගැනීමයි.
මෙසී 2016 වසරේදී ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගත්තේය. එහෙත් එරටේ ජනපති ප්‍රමුඛ බොහෝ දෙනාගේ ඉල්ලීම මත යළිත් ඔහු ක්‍රීඩා කිරීමට තීරණය කළේය. නමුත් මෙවර එවැනි දෙයක් වීමට අවස්ථාවක් නැත. ඒ අනුව මේ විශිෂ්ටයාගේ අවසන් ලෝක කුසලාන තරගාවලියත් මෙය වනු ඇත.










