
ඩී.එන්.ඒ. පරීක්ෂණ කුමකට ද?
අලි ඇතුන් විනාශ කිරීම තවමත් නැවතී නැත. නීතිය ක්‍රියාත්මක වී මේ අපරාධකරුවන් බොහෝමයක් නීතියේ රැහැනට කොටුවූ අතර මේ මහා සද්දන්තයන්ට අයත් ඇත්දළ යුගල් ද ඩී.එන්.ඒ. පරීක්ෂණයන්ට භාජනය කොට ඇත.
අපේ රටේ ස්වාභාවික පරිසරයට අයත් මිල කළ නොහැකි සද්ධන්තයන් මරා දැමීමෙන් පසුව සිදුකරන මෙවැනි පරීක්ෂණවලින් ඇති ඵලය කුමක් ද? ඩී.එන්.ඒ. පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වුවද ජාතියට අහිමිව ගොස් ඇත්තේ ජාතික වස්තුවකි.
ගල්ගමුව දළ පූට්ටුවා ද ඇත්දළ ජාවාරම් කරුවන්ගේ ගොදුරක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ නිද්‍රාශීලී ඇල්මැරුණු ප්‍රතිපත්ති නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. කොළඹ සීතල කාමරවල සිට අලි ඇතුන් සංරක්ෂණය කිරීමට කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් වියදම් කර සැලසුම් සකස් කළද ඒවා සියල්ල කඩදාසිවලට පමණක් සීමාවූ ප්‍රතිපත්තිය.
දැන් සෑම සතියකට ම අලියකු හෝ ඇතකු මරා දමයි. පසුගියදා පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී ද වයස අවුරුදු 20 ක පමණ අඩි 3 ක පමණ දළ සහිත ඇතකු මියගොස් ඇති පුවතක් පුවත්පත්වල වාර්තාකර තිබිණි. එම ඇතාගේ මරණය ද තවමත් අභිරහසකි.
මේ අතර විල්පත්තු අභය භූමියෙහි සැරිසැරූ ‘මේඝ’ නම්වූ විශාල ඇතකු සහ තවත් කුඩා ඇතුන් දෙදෙනකු ද මේ වනවිට අතුරුදන්ව ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති. අලි ඇතුන්ගේ මෙන් ම අනිකුත් වන ජීවීන්ගේ රැකවරණයට ඇති එකම රාජ්‍ය ආයතනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වුවත් එම දෙපාර්තමේන්තුවෙන් වන ජීවීන්ට ලැබිය යුතු රැකවරණය ආරක්ෂාව මේ වනවිට මුළුමනින් ම පාහේ ගිලිහී ගොස් ඇති බව කල්ලාරු ඇතාට, ගල්ගමුවේ දළ පූට්ටුවාට සිදු වූ ඛේද වාචකවලින් මනාව ඔප්පුවේ. මෙම කනගාටුදායක තත්ත්වය තවදුරටත් පැවතියහොත් අලි ඇතුන් සියල්ල වඳවී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.
වන අපරාධකරුවන් අතින් මෙන් ම ගම් වදින අලි ඇතුන් මර්දනය කිරීම සඳහා හක්කාපටස්, වසකැවීම, උගුල් ඇටවීම මෙන් ම විදුලි සැර වැද්දවීම් වැනි ඉතා අමානුෂික ක්‍රියාවන් සිදුකරන අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මීට වඩා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය. පවතින නීති ඉතා ලිහිල් ඒවා බැවින් එම නීති සංශෝධනය කර දැඩි දඬුවම් ලබාදීෙම් නව නීති පද්ධතියක් ඇති කළ යුතුය. දඬුවම් බරපතළ නම් නීති විරෝධී අපරාධ සිදුකිරීම යම්තාක් දුරට හෝ අඩුවනු ඇත. ඒ වගේම යුද හමුදා සහ විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කරගෙන අප රටේ ප්‍රධාන අභයභූමි හා වන සංරක්ෂණ කලාපවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතුය. එසේ නොමැතිව ඇතකු මරා දැමූ පසු එම සතාගේ ඇත් දළවල ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කිරීමෙන් පමණක් දැනට සිදුවෙමින් පවතින අලි ඇතුන් සංහාරය වැළැක්වීමට ස්ථිර සාර විසඳුමක් නොලැබෙනු ඇත.
දැනට ඉතිරිව සිටින අලි ඇතුන් කීප දෙනාවත් රැක ගැනීමට මීට වඩා ඵලදායී වැඩපිළිවෙළක් සකස් කිරීම තවදුරටත් කල්ගියහොත් ලංකාවට අලි ඇතුනුත් ආනයනය කිරීම ගැනද පුදුම විය යුතු නැත.
රත්නසිරි පතිරණ