සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද දියගමදී නිමාවෙයි | සිළුමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ජනපති ප්‍රධානත්වයෙන් අද දියගමදී නිමාවෙයි

ලාංකේය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මෞලී මංගල්‍යය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම දී නිමාවීමට නියමිතය. තිස්තුන් වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අවසන් අංගයවන මලල ක්‍රීඩා ඉසව්වලින් තරගාවලිය නිමාවෙයි. මෙවර මලල ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදහසකට අධික පිරිසක් එක්වූ අතර, සමස්ත තරගාවලියට ක්‍රීඩා 28 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් එක්වූහ.

මෙවර මලල ක්‍රීඩා ඉසව් වයස් කාණ්ඩ පහක් යටතේ පැවැත්විණි.

2016 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ හසිනි බාලසූරිය, තුන්පිම්ම ඉසව්වෙන් දස්කම් දක්වමින් සම්මාන දිනා ගනිද්දී, එම ඉසව්වෙන් ම දස්කම් දැක්වූ මීරිගම ඩී. එස්. සේනානායක විදුහලේ චමල් කුමාරසිරි දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සහ පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගත්තේය.

එම තරගාවලියේ රන් කෙල්ල ලෙස විරුදාවලිය දිනා ගත් අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ යමාලි දුලාංජලී වයස අවුරුදු 19 න් පහළ මීටර් 200 - 400 - 400 කඩුලු තරණය සහ 100ය4 සහාය දිවීමේ තරගවල රන් පදක්කම්වලට අමතරව මීටර් 400ය4 සහාය දිවීමේ තරගයේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වූවාය. මීට අමතරව වයස අවුරුදු 15 න් පහළ බාලිකා ඉසව්වලදී සදීපා හෙන්ඩර්සන් මීටර් 100 - 200 දුර පැනීමේ ඉසව් ත්‍රිත්වයේ රන් පදක්කම් දිනා ගනිද්දී, 17 න් පහළ බාලිකා ඉසව්වල සචිනි තාරුකා මීටර් 100 - 200 සහ 400 ඉසව් ත්‍රිත්වයේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

මලල ක්‍රීඩා බාලිකා ශූරතාව සුපුරුදු පරිදි වලල ඒ. රත්නායක විද්‍යාලය සතුවන විට බාලිකා අනුශූරතාව රත්නපුර සුමන බාලකා විදුහල සහ තෙවැනි ස්ථානය අඹගමුව මධ්‍ය මහා විදුහල සතුවිය.

මලල ක්‍රීඩා බාලක ශූරතාව ද සුපුරුදු පරිදි මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය සතුවන විට අනුශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ තෙවැනි ස්ථානය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට හිමිවිය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩිම වතාවක් දිනා ගෙන ඇති බස්නාහිර පළාත පසුගිය වසරේ ද තරගයකින් තොරව සමස්ත ශුරතාවට හිමිකම් කියූ අතර මධ්‍යම සහ සබරගමුව පළාත් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.

Comments